වෙනස 3000%ක් අලාභය මිලියන 17ක්

339

● වෙන්කළ මුදල අභිභවා සතුන් ගන්න සල්ලි විසි කරලා
● සත්වෝද්‍යාන පනතත් සංශෝධනයට

2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්‍ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්‍ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ අනුව ඇස්තමේන්තුගත මුදලට වඩා මිලදීගෙන ඇති මුදල 3000% ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළි විය.

මෙම ප්‍රසම්පාදනයේදී සැපයුම්කරු විසින් පක්‍ෂීන් වර්ග 32 ක්ම සැපයිය යුතුය යන කොන්දේසිය හේතුවෙන් වැඩි මිල ගණන් යටතේ පක්‍ෂීන් මිලදී ගැනීමට සිදුවීම නිසා රු. මිලියන 17 කට ආසන්න අලාභයක් සිදුවීම පිළිබඳව කමිටුවේ අවධානය යොමු විය.

ජාතික සත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. කමිටුවේ අවසරය මත විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඊට සහභාගිවී තිබේ.

මෙම මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත වියදම සහ සැබෑ වියදම අතර මෙතරම් විශාල ප්‍රමාණයක වෙනසක් තිබීම ගැටලුසහගත බව කමිටුව අවධාරණය කරන ලදි. අදාළ විෂය සහ වෙළෙඳපොළ සම්බන්ධ අවබෝධය මෙම දෙපාර්තමේන්තුව සතු බැවින් තක්සේරු මුදල සහ සැබෑ වියදම අතර මෙතරම් ඉහළ අගයක් පැවතීම පිළිබඳව කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදි. එබැවින් මේ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසත් නිවැරදි තක්සේරුකරණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරියේදී අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් කෝපා සභාපතිවරයා අවධාරණය කළේය.

අලුතින් එක්වූ සත්වෝද්‍යන ඇතුළු කරුණු පනතට කඩිනමින් ඇතුළත් විය යුතු බැවින් පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීමෙන් ඉදිරි මාසයක් ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙසත් මේ පිළිබඳ වාර්තාවක් 2023 අගෝස්තු 5 ට පෙර ලබාදෙන ලෙසත් කෝපා සභාපතිවරයා උපදෙස් දුන්නේය.

සත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ ආදායම නිසි පරිදි වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙන ලදි. මේ අනුව ටිකට්පත්වලින් හා අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ලැබෙන ආදායම් වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයා උපදෙස් දුන්නේය.

දැනට වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්‍ෂණය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් නොමැති බව නිරීක්‍ෂණය වන බැවින් වනජීවී සහ වන සම්පත් සංරක්‍ෂණ අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික සත්වෝද්‍යන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කමිටුවක් පත්කර වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය. IUCN රතු දත්ත පොතට අනුව දක්වා ඇති මෙරට දැනට වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති සතුන් පිළිබඳ තොරතුරු නිරන්තරයන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදි. ඒ අනුව මේ සම්බන්ධව පුළුල් ජාතික සමීක්‍ෂණයක් සිදුකළ යුතු බව අවධාරණය කෙරිණි.

මෙහිදී පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්වෝද්‍යනය සහ රිදියගම සෆාරි උද්‍යනය යන ආයතනවල ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුවිය. රිදියගම සෆාරි උද්‍යනයේ සිටින සතුන් 900 ක් අතුරින් සතුන් 485 දෙනකුගේ ස්ත්‍රී පුරුෂ බව හෝ හඳුනාගෙන නොතිබීම පිළිබඳව මෙහිදී විමසන ලදී. මෙම සතුන් අතුරින් 300 කට අධික පිරිසක් ඉන්දියාවෙන් ගෙනා තාරකා ඉබ්බන් බවත් නඩු කටයුත්තක් අවසන් වන තුරු සත්වෝද්‍යනය භාරයේ සිටින බවත් මෙහිදී අනාවරණය විය. එසේම මෙම සෆාරි උද්‍යනයේ එක් පශු වෛiවරයෙක් පමණක් සිටින බැවින් කඩිනමින් පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.

එසේම ආයතනය සතුව නිසි උපාය මාර්ගික සැලැස්මක් නොමැති බැවින් 2024-2030 වර්ෂ සඳහා නව සැලැස්මක් පිළියෙල කර මෙම වසරේ දෙසැම්බර් 31 වන විට එහි කටයුතු අවසන් කරන ලෙසද උපදෙස් දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, ජයන්ත කැටගොඩ, ඉසුරු දොඩන්ගොඩ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, වීරසුමන වීරසිංහ සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment