ත්‍රස්ත පනත අවලංගු කරන්න -විරෝධතාවලදී ආරක්‍ෂක අංශ ක්‍රියා කළ අන්දම ගැන කනස්සල්ල- ජිනීවා සමුළුවේදී මානව හිමිකම් නියෝජ්‍ය මහ කොමසාරිස් කියයි

142

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය මහකොමසාරිස් නාඩා අල් නෂීෆ මහත්මිය ජිනීවා හි පැවති පනස්තුන්වන ජගත් මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා තිබේ.

භාෂණයේ නිදහසට සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතියට එම පනතින් සීමා වැටෙන බවද ඇය කියා ඇත.

ඉකුත් කාලයේදී ශ්‍රී ලංකාවේ පැවති විරෝධතාවලදී ආරක්‍ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳව ද තමා කනස්සල්ල පළ කරන බවද කියා සිටි ඇය ඒ පිළිබඳ ජගත් මානව හිමිකම් සංවිධානයේ තම අවධානය යොමු වූ බවද සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස්වරිය මෙසේ ද සඳහන් කළාය.

ප්‍රහසන වැඩසටහන් අතරතුර සිදුකළ ප්‍රකාශ මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් හා විරෝධතාවල නිරත වූ මහජන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා නායකයන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. මීට අමතරව පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාවේ පැවති විරෝධතා පාලනයට පොලිසිය කළයුතු රාජකාරි සඳහා හමුදාව යෙදවීම පිළිබඳවත් විරෝධය පළ කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ දේශපාලන පක්‍ෂ සමග ආරම්භ කර තිබෙන සාකච්ඡා එහිදී ඇයගේ පැසසුමට ලක්ව තිබිණි.

එමෙන්ම පුරාවිද්‍යා, වන වගා, ආරක්‍ෂක අරමුණු සඳහා ඉඩම් අත්පත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය අගය කර ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් පත් කිරීම කඩිනමින් සිදුකළ යුතුව ඇතැයි ද ඒ මහත්මිය එහිදී කියා සිටියාය.

සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඒ හා සමාන ප්‍රතිසංවිධාන ක්‍රමවේදයක් සැකසිය යුතු බවද කියා සිටියාය.

මාධ්‍යවේදීන් මානව හිමිකම් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු අයට එරෙහි සිවිල් හා දේශපාලන පනත අවභාවිතා කරමින් මාර්තු මාසයේදී ක්‍රියාකිරීම ගැන අපගේ අවධානය යොමු වුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් නීති ගෙන ඒමට රජය කැපවන බව කීවත් මාර්තු මාසයේ දී ගැසට් කළ නව ත්‍රස්ත පනතින් ප්‍රකාශන නිදහස, රැස්වීමේ නිදහස, කම්කරු අයිතීන් පවා සීමාකර තිබෙනවා යැයි ද ඇය සඳහන් කළාය.

ඒ අනුව ජගත් මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස්වරිය සිය වාචික ප්‍රකාශය මගින් යෝජනා කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරන ලෙසයි.

advertistmentadvertistment
advertistmentadvertistment