හොර ගිනි අවි භාරදෙන්න පොදු සමා කාලයක්

137

දකුණේ පාතාල වැඩ වැඩි පොලිසියේ අකාර්යක්‍ෂමතාව නිසයි-පොලිස්පති ඇමැතිට කියයි

බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි පොලිසියට භාරදීම සඳහා ජූලි 31 වැනිදා දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශ කරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී පොලිස්පතිවරයාට ඊයේ (22දා) උපදෙස් දුන්නේය.

දකුණ සහ බස්නාහිර පළාත්වල මිනී මැරුම් හා අපරාධ වැඩි වීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවය කරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්‍ෂමතාවය බව මෙහිදී පොලිස්පතිවරයා ඇමැතිවරයාට කීයා ඇත. ඇමැතිවරයා එහිදී උපදෙස් දී ඇත්තේ එවැනි නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙසය.

මිනීමරුම් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස මෙහිදී ඇමැතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. එවැනි මෙහෙයුම්වලදී අනිසි බලපෑම් සිදුකිරීමට කිසිවකුට හෝ ඉඩ නොතබන බවද සඳහන් කර ඇත. ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලැබී ඇතැයිද ඇමැතිවරයා පවසා තිබේ.

ගිනි අවි භාරදීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර එම කාලයේදී භාර නොදෙන ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමග වැටලීම් ආරම්භ කරන ලෙසද ඇමැතිවරයා දැනුම් දී ඇත.

මෙම සාකච්ඡාව සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි වරුණ ජයසුන්දර යන මහත්වරුන්ද මීට සහභාගි වී ඇත.

චමින්ද සිල්වා, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment