රට පුරා රෝහල්වල බෙහෙත් හිඟයි-සජිත් ප්‍රේමදාස

98

බෙහෙත් ගෙන්වීම නතර කරන්න පිරිසක් උසාවි ගිහින්-ඇමැති කෙහෙළිය

රට පුරා රෝහල්වල ඖෂධ බරපතළ ලෙස හිඟව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 වැනිදා) පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ නිර්වින්දන එන්නත් ලබා ගැනීම නිසා ජීවිත අහිමි වීම යන චෝදනාව ගැන මෙන් ම පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

එහිදී ඔහු මෙසේද කීය-

නිර්වින්දන එන්නත් ලබා ගැනීම නිසා දරුවන්ගේ ජීවිතත් අහිමි වෙලා. ඖෂධ හිඟය බරපතළයි. මේ ඖෂධ හිඟය පියවන්න ගන්නා පියවර කියන්න. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු හත්සියයක් මේ වන විට විදෙස්ගත වෙලා. හම්බන්තොට, කරාපිටිය, අනුරාධපුර මෙන්ම තවත් රෝහල් රැසක බරපතළ ලෙස වෛද්‍යවරුන්ගේ හිඟය මතුවෙලා තිබෙනවා. වෛද්‍යවරු නැහැ, ඖෂධ නැහැ. පහසුකම් නැහැ. ඒ විතරක් නෙවෙයි තවත් විශාල ගැටලු රැසක් තිබෙනවා. මේවාට ආණ්ඩුව දෙන විසඳුම් රටට කිව යුතුයි.

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා-

එම සිදුවීම් දෙක තුනම වෙලා තිබෙන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ළමා රෝහලේ. ඒ සම්බන්ධව විමර්ශනය කිරීමට ඊට අදාළ වෛද්‍යවරුන් අමාත්‍යාංශයට කැඳවලා තිබෙනවා. දරුවන්ට මේ නිර්වින්දන ඖෂධය ලබා දෙන්නේ නැහැ. නීතියක් නෙවෙයි, පාවිච්චි කරන්නේ නැත්තේ සංකූලතාවන් වැඩි නිසා. වැඩිහිටියන්ට පමණයි පාවිච්චි කරන්නේ. අනිත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරනවා.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රශ්න දෙකක් තිබෙනවා. ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධව මාස නවයක විතර ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තිබෙනවා. ඒක අඩු කරන්න අපි කැබිනට් මණ්ඩලයටත් ගියා. කැබිනට් මණ්ඩලය අවසර දුන්නා. ඒ අතරතුරේ යම්කිසි කණ්ඩායමක් සුප්‍රීම් උසාවියට ගිහින් තිබෙනවා බෙහෙත් ගෙන්වීම නතර කරන්න කියලා. ඒ සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. හදිසි අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය ගැන ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා. අධිකරණය සම්බන්ධයෙන් ගරුත්වයක් තිබෙනවා. නමුත් ඇතැම් තීරණ නිසා අපි අපහසුතාවට පත් වන අවස්ථා තිබෙනවා. ඒ ගැන කනගාටුවක් ඇති වෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment