මෙහෙකාර දැරිය කෙලෙසූ නරුමයා වසර 45ක් හිරගෙට

785

● පලාගිය විත්තිකරු අල්ලන්න විවෘත වරෙන්තු

● ලක්ෂ 5 ක් වන්දි: 75,000 ක් දඩත් නියම වේ

මව මියයෑමෙන් හා පියා රෝගාතුර වීමෙන් ඇති වූ දරිද්‍රතාවය නිසා පාසල් අධ්‍යාපනය අතහැර කොළඹ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයට පැමිණ සිටි 17 හැවිරිදි තරුණියක දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට එම අපරාධය සිදුකර වසර 20 කට පසුව කෙළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (21 දා) බරපතළ වැඩ සහිත වසර 45 ක සිරදඬුවම් නියම කළේය.

වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසට ද හිමාෂ ප්‍රමින්ද ගනේගොඩ නමැති එම විත්තිකරුට නියම කළ විනිසුරුවරයා රුපියල් 75,000 ක දඩයකට විත්තිකරු යටත් කළේය.

එකී වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමටත් නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් වසර දෙකක අමතර සිරදඬුවම් ලබාදීමට ද නියෝග කළේය. මේ වනවිට අධිකරණය මඟහැර පදිංචිව සිටි ස්ථානවලින් පලාගොස් අතැයි කියන එම විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා එම විවෘත වරෙන්තු ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන් වෙත වහාම යවන ලෙසට ද නියෝග කළේය.

එම විත්තිකරු 2003.04.15 වැනිදා හා 2003.06.02 වැනිදා කාලය අතරතුර කිසිවකුට පැවසුවහොත් හමුදාවේ සේවය කරන සිය මිතුරන් ලවා පැහැරගෙන යන බවට තර්ජනය කර අවස්ථා තුනකදී තමා දුෂණය කළ බවටත් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා උපත් පාලන උපක්‍රම පාවිච්චි කළ බවටත් තරුණිය ලබාදී තිබූ සාක්ෂි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ද, ඔහුගේ සාක්ෂි මගින් තහුවරු කර ඇතැයි විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

එපමණක් නොව එම විත්තිකරුගේ බාල සහෝදරයාගේ බිරිඳ නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන දෙපාර්තමේන්තුවක නිලධාරිනියක බැවින් පැමිණිල්ලක් කළත් පලක් නොවන බවට යෝජනා කර තිබූ බව ද විවෘත අධිකරණය හමුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා පාසල් යන වයසේ පසුවන එවැනි අසරණ තරුණියකට විත්තිකරු සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක් වන්නේ යැයි ද පැවසීය. විත්තිකරුට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල

මෙහෙයවූ රජයේ අධිනීතිඥ චතුරංග බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සිය සේවාදායකයාගේ දඬුවම් අවම කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු නොකරන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුජ් සඳරුවන් මහතා පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment