පේරාදෙණියේ සිසුන් විශාල පිරිසක් මානසික අවපීඩනයෙන්-ඉම්තියාස් බාකිර් මාකර්

431

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05 දෙනකු මෙම වසරේදී (2023) සියදිවි නසාගෙන ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු ඒ සඳහා උත්සාහ කිරීම හේතුවෙන් ඔවුන් උපදේශනය සඳහා යොමු කර ඇති බවත් විපක්ෂ මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) සඳහන් කළේය.

ඊට අමතරව එම විශ්වවිද්‍යාලයේ සිසුන් විශාල පිරිසක් මේ වන විට මානසික අවපීඩනයෙන් සිටින බවට තමන්ට එහි ආචාර්යවරුන් පිරිසක් කියා සිටි බව ද හෙතෙම කීය. එහි ඇතැම් සිසුන් දිනකට එක් වේලක් පමණක් ආහාර ගන්නා බවට හෙළිවී ඇති බවත් ඇතැම් සිසුන් දේශන අතරතුර දී ක්ලාන්ත වී ඇදවැටෙන අවස්ථා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ සිසුන්ට තවමත් මහපොළ ශිෂ්‍යාධාරය පවා ලැබී නැති නිසා මේ කරුණු සම්බන්ධයෙන් අවධානය දක්වන ලෙස ද වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකදී අතුරු පැනයක් යොමු කරමින් හෙතෙම කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල සිසුන් 15000 කට පමණ පිරිසකට මහපොළ ආධාරය ලැබීම ප්‍රමාද වූ බවත් එසේ වීමට බලපෑ තාක්ෂණික දෝෂය මේ වන විට සකසමින් තිබෙන බවත්ය. කෙසේ වෙතත් මෙම ශිෂ්‍යාධාරය ගෙවන මුදල වැඩි කිරීම කළ යුතු බව තමන් ද පිළිගන්නා බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment