පොලිසිය සමග පොර බැදූ පාතාලයෝ වෙඩි කාගෙනම පලායති-ත්‍රිරෝදය වජිරගේ නිවස කිට්ටුව දමා ගිහින්

1911

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පාතාල මැරයන් දෙදෙනකු ගාල්ල කරාපිටිය බෝගහවෙල ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සමඟ පොරබදා සැකකරුවන් දෙදෙනා පලා ගොස් තිබේ.

එම අවස්ථාවේ දී පලා ගිය ත්‍රිරෝද රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ද පොලිසිය පියවර ගෙන ඇත.

කරාපිටිය බෝගහවෙල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (22 වැනිදා) පෙරවරුවේ සැකකටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරීක්‍ෂා කර ඇත.

එහිදී ත්‍රිරෝද රථයට අදාළ කිසිදු බලපත්‍රයක් නොමැති බව තහවුරු වීම නිසා එහි පැමිණි දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අත් මාංචු දැමීමට සූදානම් වූ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන් සමග පොර බදා පලාගොස් ඇති අතර ඒ සමගම ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණි අනෙක් පුද්ගලයා ද රථය පණගන්වා පලා ගොස් ඇත.

ත්‍රිරෝද රථය ඉදිරියට යෑමේදී එක් පොලිස් නිලධාරියකු එයට වෙඩි තබා ඇතත් එහි සිටි සැකකරු වෙඩි ප්‍රහාරය ද නොතකා ත්‍රිරෝද රිය කරාපිටිය ගොඩකන්ද මාර්ගය ඔස්සේ ඉදිරියට ධාවනය කර බද්දේගම ප්‍රධාන මාර්ගයට පිවිසෙන උළුවිටිකේ මහ විදුහල අසල දී ඉදිරියෙන් පැමිණි වෙනත් ත්‍රිරෝද රථයක් ද අනතුරට ලක්කරමින් නොනවත්වා වේගයෙන් ගාල්ල උළුවිටිකේ දෙසට ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එහිදී තුවාල ලැබූ අනතුරට පත් ත්‍රිරෝද රථයේ පසුපස සිටි අයකු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

පලා ගිය සැකකරු ත්‍රිරෝද රථය ගාල්ල උළුවිටිකේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නිවස ආසන්නයේ අතහැර දමා ගොස් තිබියදී පසුව පොලිසිය විසින් සොයා ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පෝද්දල පොලිසිය විමර්ශන සිදු කරයි.

සමන් ගමගේ, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි- ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment