නව අරගලයක් ඇරඹුවා

456

‘රජය ජනතාව මත පටවන අධික බදු බරට එරෙහි වෙමු – ජනතා මර්දන නීතිවලට විරෝධය පළකරමු’ යන තේමා යටතේ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ රැලියක් කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (27දා) සවස පැවැත්විණි. එම රැලියට සහභාගි වූ අති විශාල ජනතාවගෙන් කොටසක් සහ කථිකයන් වේදිකාවේ සිටි අයුරු ඡායාරූපවල දැක්වේ. ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ, කමල් බෝගොඩ

ආණ්ඩුවේ විනාශකාරී ගමන ආපසු හැරවීමට ප්‍රගතිශීලි බලවේග සමග නව අරගලයක් ඇරැඹුවා
ජාතික වෘත්තීය සමිති සංවිධානයේ සභාපති ලාල් කාන්ත

රටේ ජනතාවට උසුලාගත නොහැකි බදු බරක් පටවමින් මර්දනය තුළින් රට පාලනය කිරීමට උත්සාහ කරන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙන යන විනාශකාරී ගමන ආපසු හැරවීමට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය සියලු ප්‍රගතිශීලී බලවේග සමග ඒකාබද්ධව නව අරගලයක් ආරම්භ කළ බව ජාතික වෘත්තීය සමිති සංවිධානයේ සභාපති ලාල්කාන්ත මහතා කොළඹදී පැවති විරෝධතා රැළියකදී ඊයේ (27 දා) පැවසීය.

ජනතාව මත පටවා ඇති අධික බදු බර වහා ඉවත් කරනු, විශ්වවිiාල අධ්‍යාපනයට ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා දෙනු, ත්‍රස්ත පනත ඇතුළු මර්දන අණ පනත් වහා අහෝසි කරනු හා පාර්ලිමේන්තුව විසුරුවා හැර වහා මහ මැතිවරණයක් පවත්වනු යන තේමාවෙන් කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (27 දා) පැවති මෙම විරෝධතා රැළියට වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, විශ්වවිiාල සිසුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අරගලයක් ඇරඹුවා

ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයන් රැසක් මෙම විරෝධතා රැළිය ඇමතූහ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු උදේනි දිසානායක මහතා,

අපේ මේ රටේ සෑම ක්‍ෂේත්‍රයක්ම බිඳ වැටිලා ඉවරයි. රෝහල්වල බේත් නැහැ. හැබැයි පාලකයන්ට වගේ වගක් නැහැ. මේ රටේ රාජ්‍ය සම්පත් ටික විකුණාගෙන කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. අපි එකා වගේ සටන් කරලා රාජ්‍ය සම්පත් ආරක්‍ෂා කර ගන්නවා කියන ප්‍රතිඥාව අද දෙනවා. ජනතා ප්‍රශ්නවලට උත්තර නැති මේ මජර පාලනය වහා පන්නා දැමිය යුතුයි. රනිල් දැන් ජනතා නැඟිටීම මර්දනය හරහා නැවැත්වීමට උත්සාහ කරනවා. ඒවාට අපි ඉඩ දෙන්නේ නැහැ. ගෝල්ෆේස් අරගලය නව පණක් දීලා අද අපි ආරම්භ කරනවා.

නව අරගලයක් ඇරඹුවා

ගෝල්ෆේස් අරගලකරුවන් නියෝජනය කරමින් අදහස් දැක්වූ කොස්වත්තේ මහානාම හිමි,

ගෝල්ෆේස් අරගලයේ දෙවන අදියර ලෙස අපි අද හයිඩ් පිටියට ඇවිත් තිබෙන්නේ රනිල් රාජපක්‍ෂට රතු එළියක් පෙන්වන්නයි. මේ රටේ ජනතාව මහ මගට බැස්සේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ ඉවසාගෙන ඉන්න බැරිම තැනයි. අදත් එකා වගේම ජනතාව ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නවා. එක වේලක් කන ජනතාව ඊළඟ වේල කන විදිය ගැන හිතලා දුක් වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හිරුණ හෙට්ටිආරච්චි මහතා

රනිල් රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යන්න කියන වෙඩිමුරයයි අද අපි මේ හයිඩ් පිටියෙන් ආරම්භ කළේ. අරගලය හරහා අපි මේ රටේ පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ අපිට නිදහසේ ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන්න කියලා. නමුත් අද අපිට පාලකයෝ උරුම කරලා දීලා තිබෙන්නේ මර්දනය පමණයි. අපි ඊළඟ වතාවේදී අරගලය ක්‍රියාත්මක කරන්නේ සමස්ත ජනතාව සමගයි කියලා අපි පාලකයන්ට අද කියනවා.

නව අරගලයක් ඇරඹුවා

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා

සමහරු කියනවා රනිල් දැන් රට ටිකක් ගොඩ අරගෙන තිබෙන නිසා ඔහුට අවස්ථාව දීලා බැලුවොත් හොඳයි කියලා. මොනවාද රනිල් මේ රටට කළේ කියලා අපි බලමුකො. නන්නත්තාර වෙලා ගෙවල් ඇතුළේ හිටපු පොහොට්ටුවේ කට්ටියට එළියට එන්න ඉඩ හදලා දුන්නා. මේ රටේ මිනිස්සුන්ට එකම ප්‍රශ්නයකටවත් උත්තරයක් දීලා නැහැ. මේ රටට තියෙන එකම විසඳුම මිනිස්සු පිළිගන්න ආණ්ඩුවක් හදන එක මිසක් මේ තිබෙන කුණුවෙච්ච ආණ්ඩුව ඇදගෙන යන එක නෙමෙයි. මේ රට නිසි මගට එනකල් අපි අරගලය අවසන් කරන්නේ නැහැ.

ජීවන්ත පීරිස් පියතුමා

පරමාධිපත්‍යය ජනතාවගේ උරුමයයි. ඒ නිසා පාලකයන්ගේ මර්දනයට යටවී සිටිය යුතු නැහැ. උතුරේ ජනතාව නැඟිටිනකොට ඒක මර්දනය කළා. මුස්ලිම් ජනතාව නැඟිටිනකොට ඒ අයව මර්දනය කළා. ඒ වගේම අරගලය හරහා අපි නැඟිටිනකොට අපිවත් මර්දනය කළා. මේ මර්දනයට මුහුණ දිය හැක්කේ ජනතාව ඒකරාශී වුනොත් පමණයි. යටත්විජිතවාදී මානසිකත්වයෙන් මිදිලා
ශ්‍රී ලාංකිකවාදී මානසිකත්වයක් ගොඩනඟමු.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා

ගෝල්ෆේස් අරගලය ආරම්භ කරලා එය සාර්ථක කරගන්න එක්දින වැඩවර්ජනයක් ආරම්භ කරලා ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යවන්න මුල්වුණේ වෘත්තීය සමිති ව්‍යාපාරයයි. අරගලයට ප්‍රගතිශීලී කාර්යභාරයක් කරපු සියලු බලවේග එකතැනකට ගෙනැල්ලා අරගලය නැවත වරක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති මධ්‍යස්ථානයට හැකියාව ලැබී තිබෙනවා.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment