අලි පන්නන තුවක්කුව පත්තු වී පාසල් සිසුවෙක් මියයයි

296

වන අලි පලවා හැරීමට භාවිත කළ තුවක්කුවක් පත්තු වී 16 හැවිරිදි පාසල් සිසුවකු මිය ගිය බව අඹන්පොළ පොලිසිය පවසයි.

21 දා රාත්‍රී 10.45 ට පමණ මෙම සිදුවීම වී ඇත. මියගොස් ඇත්තේ අඹන්පොළ කැත්තපහුව පදිංචි ආර්. ඩී. දිලුම් ලක්ෂිත නමැති සිසුවෙකි. ඔහු ගජනැග්ගම මහා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හදාරමින් සිටියේය.

මියගිය දිලුම් රාත්‍රී කාලයේ කුඹුරුවලට හානි කරන වන අලි පැන්නීමට තම පියා සමග පැල් රැකීමට ගොස් ඇත. එහිදී කුඹුරට එන වන අලි පලවා හැරීමට පැල ආසන්නයේ වන රොදක සඟවා තිබූ තුවක්කුව ගැනීමට ඔහුට අවශ්‍ය වී ඇත. එසේ යෑමේදී වන රොදේ සඟවා තිබූ තුවක්කුව පත්වී ඇත. එය මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ තුවක්කුවක් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

තුවක්කුව පත්තු වීමෙන් බරපතළ තුවාල ලැබූ දිලුම් ලක්ෂිත ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ඔහු මියගියේය.

අඹන්පොල පොලිසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

යාපහුව – ගාමිණි විජේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment