මවත් සමග යතුරුපැදියේ ගිය පෙර පාසල් දැරිය බස් මාරයාට බිලි

407

යුද හමුදා බස්රථයකට යටවීමෙන් සිව් හැවිරිදි දැරියක් මියගොස් දැරියගේ මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි ළිසඳි දෙනෙත්මා නමැති සිව් හැවිරිදි දැරියක් බව පොලිසිය කියයි. දැරියගේ මව බණ්ඩාරගම සමුපකාර ප්‍රධාන කාර්යාලයේ සේවය කරන අතර දැරියව පෙර පාසලට රැගෙන යෑම සඳහා යතුරුපැදියකින් බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට ගමන් කර තිබේ. යතුරුපැදිය බණ්ඩාරගම සමුපකාර ප්‍රධාන කාර්යාලයට හැරවීමට යෑමේදී පිටුපසින් පැමිණි යුද හමුදා බස්රථය ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ගමන්කර යතුරුපැදියේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.දැරිය එම ස්ථානයේම මියගොස් ඇති අතර මෘතදේහය බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබේ. බස් රථය කුලී ගෙවීමේ පදනම මත යුද හමුදාවට පවරාගත් බස් රථයක් බවත්, කළුතර සිට යුද හමුදා මූලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරි කරන යුද හමුදා සාමාජිකයන් රැගෙන යන බස් රථයක් බවත් පොලිසිය කියයි. බස් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment