බියර් බී පාසලට පැමිණි 14 තරුණිය රෝහලට

3675

මවගේ දෙවැනි විවාහයේ සැමියාගේ පියා ඇයට බියර් බීම පුරුදු කරලා

බියර් පානය කර පාසල් පැමිණි වයස අවුරුදු 14ක බාලවයස්කාර පාසල් සිසුවියක් සිය භාරයට ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කැකිරාව පොලිසිය පවසයි. කැකිරාව අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක් ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි කැකිරාව පොලිසියේ නිලධාරින් දෙදෙනකු සිසුවිය පිළිබඳව සැක සිතී මෙම සිසුවිය සිය භාරයට ගෙන තිබේ.

පසුව අදාළ සිසුවිය කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුමිත් මුණසිංහ මහතා වෙත ගෙනැවිත් භාර දීමෙන් පසුව සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලිසිය කියයි. මෙම සිසුවිය මත්පැන් පානය කළේ කෙසේද යන්න පිළිබඳව අනාවරණය කරගැනීම සඳහා සිදුකළ මූලික විමර්ශනවලදී දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියාගේ පියා (සීයා) විසින් ඇයට බියර් පානය කිරීමට පුරුදු කර ඇති බව දැරිය ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මගින් කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ පරිවාස කාර්යාලයට දැනුම්දීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් අරඹා තිබේ.

එකී විමර්ශනයට අනුව අදාළ සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේදී විදුහල්පතිවරයා දුරකථනය විසන්ධි කර ඇත. පසුව අදාළ විදුහල්පතිවරයා දැරිය සම්බන්ධ විමර්ශනවලට සහාය නොදක්වන බවටත්, බාධා පමුණුවන බවටත් පවසමින් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිවරයා කැකිරාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලිකොට තිබේ.

දැරිය බියර් පානය කර පාසලට පැමිණීමට හේතුව සහ ඇයට බියර් පානය කිරීමට පුරුදු කළේ කවුරුන්ද යන්න පිළිබඳවත් සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇත. කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment