අහුලාගත් ඒ.ටී.එම්. එකෙන් මුදල් ඇද්ද බස් රියැදුරු සහ අනියම් බිරිඳ අත්අඩංගුවට

3017

විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරිඳට අයත් ඒ.ටී.එම්. බැංකු කාඩ්පතක් වැටී තිබී අහුලා එම කාඩ්පත උපයෝගී කරගෙන එක් දිනකදී අවස්ථා තුනකදී රුපියල් අසූනව දහසක භාණ්ඩ මිලදීගත් පුද්ගලයකු හා ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.

තමාට අයත් ජාතික ඉතිරි කිරීමේ බැංකු කාඩ්පත සොරාගෙන, කිසියම් පුද්ගලයකු විසින් ගණුදෙනු සිදු කර ඇති බවට එප්පාවල අංක 03, ගම්මානයේ පදිංචි විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරිඳ විසින් එප්පාවල පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලක් මත එප්පාවල පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති එස්.ඩබ්ලිව්.ටී.ආර්. ජයම්පති මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු භාණ්ඩ මිලදීගත් වෙළඳසැල්වල සී.සී.ටී.වී. පරීක්ෂා කර සැකකරු පැමිණි යතුරුපැදිය හඳුනාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු බස්රථ රියැදුරෙකි. ඔහුට නීත්‍යානුකූල බිරිඳට අමතරව අනියම් බිරින්දෑවරුන් පස්දෙනෙකුද සිටින බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු පැමිණි යතුරුපැදිය කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමේදී මෙම අනියම් කාන්තාවන් පිළිබඳ තොරතුරුද අනාවරණය වී ඇත. සැකකරු එප්පාවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි අයෙකි. ඔහුගේ එක් අනියම් බිරිඳක සමඟ මෙලෙස සැරයන්වරයාගේ බිරිඳගේ බැංකු කාඩ්පත එප්පාවල පිහිටි ජාතික ඉතිරි කිරීමේ බැංකුව අසල වැටී තිබී අහුලාගෙන එමගින් එදිනම එප්පාවල, තඹුත්තේගම හා කැකිරාව යන ප්‍රදේශ තුනෙහි පිහිටි ස.තො.ස. අලෙවිසැල්වලින් මොවුන් රුපියල් අසූනව දහසක භාණ්ඩ මිලදීගෙන ඇති බවට පොලිසිය අනාවරණය කර ගෙන ඇත. විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ විශ්‍රාම වැටුප් ඇතුළුව රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් එම ඒ.ටී.එම්. කාඩ්පත් ගිණුමේ තිබී ඇති අතර ඉන් රුපියල් අසූනවදහසක ගණුදෙනු සිදු වී ඇති බවට අනාවරණය වී ඇත. ඇය පසුගිය 16 වැනිදා එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ අනුව පරීක්ෂණ සිදුකර එදින පස්වරුවේම සැකකරු හා අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු හා අනියම් බිරිඳ තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

තිසර සමල් – එප්පාවෙල

advertistmentadvertistment
advertistmentadvertistment