අන්තිමේ ගෙදර අය සමග වන්දනාවේ ගිහින් සැමියා නැතිවුණා

450

නිවාඩු නොලැබුණ නිසා සේවයට යන්න බැරිවුණා
අවසන් මොහොතේ හමුදා උත්තමාචාරත් නැතිවුණා
හමුදාපතිතුමනි, ආරක්‍ෂක ලේකම්තුමනි…
දරු දෙදෙනා සමග අසරණ වූ අපට සැමියාගේ විශ්‍රාම වැටුපවත් දෙන්න…
අඹන්පොල මාරක අනතුරේ තවත් කඳුළු කතාවක්

දහසක් බලාපොරොත්තු ඇතිව තලාව 411 අරුණපුර ගම්මානයේ වැඩිහිටියන් සහ තරුණ පිරිස් 56 දෙනකු වන්දනා නඩයක් ලෙස පෙළගැසී බලංගොඩ කූරගල විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගියේය. ඔවුන් එම ගමන ගියේ අරුණපුර ගම්මානයේම ඇති පෞද්ගලික බසයකිනි. වන්දනාව නිමකළ ඔවුන් ඉකුත් 09 වැනිදා නැවත තලාව බලා එන්නට පිටත් විය.

අන්තිමේ ගෙදර අය සමග වන්දනාවේ ගිහින් සැමියා නැතිවුණා

පාදෙනිය – අනුරාධපුර මාර්ගයේ එන පිරිස ඉකුත් 10 වැනිදා උදාවී පාන්දර 2.30 ට පමණ අඹන්පොළදී පාරේ නවතා තිබූ කන්ටේනර් රථයක හැපී බසයට දැඩි හානි සිදුවිය. නඩයේ පිරිස අතරින් දෙදෙනකු එම ස්ථානයේදීම මරුමුවට පත්විය.

තවත් 29 දෙනකු බරපතළ තුවාල වී අඹන්පොළ, ගල්ගමුව, කුරුණෑගල සහ අනුරාධපුර ආදී රෝහල්වලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේය.

මරුමුවට පත්වූ දෙදෙනකුගේ මෘත දේහයන් පසුගියදා ඥාතීන් විසින් තලාවට රැගෙන එන ලදී. ඉන් එක් දේහයක අවසන් කටයුතු පෙරේදා (11 දා) සිදු කළේය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ වර්ෂ 14 ක් පමණ සේවය කළ අයෙකි. මිය යන්නට දින 05 කට පමණ කලින් තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිට තම සහෝදරයකුගේ මංගල උත්සවයකට සහභාගි වීමට ගමට පැමිණ ඇත. කඳවුර භාර අණදෙන නිලධාරියාගෙන් නිවාඩු ඉල්ලූ විට නිවාඩු නොදුන් නිසා මෙම නිලධාරියා සේවයට වාර්තා නොකොට ගමට පැමිණ,

සිය අවශ්‍යතා ඉටු කරගෙන පසුව ඔහුද මෙම වන්දනා ගමනට සහභාගී වී ඇති බව ඔහුගේ බිරිඳ වන ඩී. එම්. පී. ජී. අසන්තිකා මහත්මිය පැවසුවාය. ඇයද මෙම ගමනට සහභාගි වී ඇති අතර ඇයගේද කකුල් තුවාල වී ඇත.

මරණය සම්බන්ධව ඇගේ ඥාතින් අදාළ කඳවුරට දැන්වූවත් ඔහුට මරණයකදී දෙනු ලබන යුද හමුදා ආචාර පෙළපාලියක් පවා ලබාදී නොමැත. මෙම මාරක අනතුරින් මියගියේ තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කළ කෝප්‍රල් ලක්‍ෂ්මන් සිසිර බණ්ඩාර (32) මහතා ය. මොහුගේ බිරිඳ සහ දරු දෙදෙනාගේ එකම ආදායම් මාර්ගය තම ස්වාමියාගේ වැටුප නිසා මෙම මාරක අනතුරින් ඇය අනාථ වී ඇත.

මේ ගැන අනුකම්පා සහගතව බලා පුරුෂයාගේ විශ්‍රාම වැටුප ඇයට ලබාදීමට කටයුතු කරන ලෙස ඇය යුද හමුදා

බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මියගිය යුද හමුදා සොල්දාදුවාගේ අවසන් කටයුතු සිදුකළ මොහොතේ මෙම ගම්මානයේ විහාරාධිපති වැල්ලගිරියේ ප්‍රඤ්ඥාසිරි හිමියන් අනුශාසනාවක් කරමින් පැවසුවේ, දිගු කලක් සේවය කළ මෙම සෙබළාට හමුදා ආචාර නොලැබීම ගැන කණගාටු වන බවයි. මෙම මාරක අනතුරින් මියගිය අනෙක් පුද්ගලයා වූයේ එම ගම්මානයේම පදිංචි 72 හැවිරිදි බී. එස්. මුතුබණ්ඩා මහතා ය. මෙම ගොවි මහතාට දරුවන් සිව්දෙනෙකි.

ඔහුගේ බිරිඳ වන එච්. එම්. ලොකුමැණිකා මහත්මිය පැවසුවේ, මාද මෙම චාරිකාවට සහභාගි වුණා. වන්දනාව නිමකර ඉකුත් 09 දා හවස තමයි ගමට එන්න පිටත් වුණේ. මහන්සිය නිසා බසය තුළදී මට නින්ද ගියා.

බසය අඹන්පොල දී කන්ටේනරයේ හැපෙනකම් මා කිසිවක් දන්නේ නෑ.

මාගේ ස්වාමියා සිටියේ බසයේ ඉදිරිපස නිසා බරපතළ තුවාල වී ඔහු ඒ මොහොතේම මියගියා. මෙම මහවැලි ගම්මානයේ විහාරාධිපති වැල්ලගිරිය ප්‍රඤ්ඤාසිරි හිමියන් වැඩිදුරටත් පැවසුවේ, “මෙම භයානක අනතුරින් මුළු ගමම එකම මළගෙයක් වී ඇති බවයි. ගමේ 29 දෙනකු තුවාල වී රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටිනවා. කීප දෙනකුගේ කකුල් කැඩිලා. අත් කැඩිලා. ඇස් තුවාලවෙලා”
තඹුත්තේගම – සී. එම්. ආරියපාල

advertistmentadvertistment
advertistmentadvertistment