60 වැඩ කළ හැකි නම් දික්කරන්න – පළපුරුදු වෘත්තිකයෝ කියති

293

වෘත්තීය නිපුණත්වයක් ඇති පළපුරුදු දක්‍ෂ රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කළහොත් රජයටත් රටටත් විශාල සේවයක් තමන්ට ලබාදිය හැකි බව එම වෘත්තිකයෝ කියති.

විශේෂයෙන්ම වෛi, ඉංජිනේරු, ගුරු, රේගු, රාජ්‍ය පරිපාලන, මුදල් දේශීය ආදායම් වැනි ක්‍ෂේත්‍රවල රැකියා කරන විශේෂ නිපුණතා ඇති දක්‍ෂ පරිපාලන නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ කාලසීමාව 60 සිට 65 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළහොත් රටේ දියුණුව සඳහා තමන්ට විශාල දායකත්වයක් ලබාදීමට හැකි වනු ඇති බව ද ඔවුහු කියති.

එමෙන්ම වැටුප් වර්ධන වෙනත් දීමනා, නොමැතිව මූලික වැටුපක් පමණක් ලබාගෙන තම සේවය රටට ලබාදීමට හැකි වීම තුළින් රටේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකි බවද ඔවුහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී හසල අත්දැකීම් ඇති පළපුරුදු රාජ්‍ය නිලධාරියකු කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අවුරුදු හැට සීමාවට වෙද්දී ඔවුන්ට පවුල් ප්‍රශ්න ඇතුළු වෙනත් ගැටලු බොහෝ දුරට අඩුවී තිබෙන නිසා රැකියාවට මුල් තැන දී කටයුතු කළ හැකි බවයි.

රාජ්‍ය නිලධාරීන් 60 සීමාවට එද්දී ඒ අය ගෙවල් දොරවල් හදාගෙන දූ දරුවෝ දීගදීලා, අනෙකුත් ප්‍රශ්නත් බොහොමයක් විසඳගෙන ඉන්නේ. ඒ නිසා ඒ අයට පූර්ණ කාලීනව රැකියාව වෙනවෙන් කාලය කැප කරන්න පුළුවන්. ඒක රටේ දියුණුව සඳහා විශාල පිටිවහලක් වෙනවා යැයි රාජ්‍ය නිලධාරියෙක් කියා සිටියේය.

පසුගිය රජය විසින් විශ්‍රාම යෑමේ කාලසීමාව 60 සිට 65 දක්වා දීර්ඝ කර තිබිණි. එහෙත් මෙවර අතුරු අය වැයෙන් එය නැවතත් 60 සීමාව දක්වා ගෙන ඒමට කටයුතු කර ඇත.

හේමන්ත රන්දුණු- චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment