ජනවාරියේ මරා දැමූ මාධ්‍යවේදීන් ගණන් හතක්…

ජනවාරියේදී හානියට පත් කළ මාධ්‍ය ආයතන තුනක්….

මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් වෘත්තිමය මාධ්‍යවේදියකු බිහි කළා මිස, වෘත්තීමය භාවයක් ඇති මාධ්‍ය කලාවක් රට තුළ බිහිකරන්න ට පියවර ගත්තේ නැත. එවැනි පසුබිමක් තුළ සිට අවස්ථා ගණනාවකදී මධ්‍යවේදීන් මර්දනයට සහ මාධ්‍ය ආයතන මර්දනයට ආණ්ඩු පියවර ගත්තා අපට මතකය.

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදන් කිරීම්වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබඳව විරෝධය පළ කිරීම සඳහාත්,එහිදී විශේෂයෙන් පසුගිය වසර ගණනාවක් තුළදී ‘ජනවාරි මාසය’ තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදන් කිරීම වැනි බරපතළ කරුණු සලකා අදාළ විරෝධතාව ‘කළු ජනවාරිය’ ලෙස නම් කිරීමට 2012 වසරේදී ලංකාවේ මාධ්‍ය සංවිධාන තීරණය කළේය.

එබැවින් මාධ්‍ය මර්දනයට විරුද්ධවත්, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් ඝාතනයට, ප්‍රහාරයන්වලට ලක්කිරීමට සහ අතුරුදන් කිරීම්වලට මෙන්ම විවිධ දුෂ්ඨ බලපෑම් වලටත්, මාධ්‍ය ආයතනවලට ප්‍රහාරයන් එල්ල කිරීම් වලටත් එරෙහිව ජනවාරිය “කළු ජනවාරිය” ලෙස නම් කර තිබේ.

එයට කළු ජනවාරිය යැයි නම් කිරීමට බලපෑ විශේෂ සිදුවීම් කිහිපයක් පහත දක්වන්නේ එක් පසෙකින් ලංකාවේ ආණ්ඩුවල තිබෙනවා යැයි කියන, කියපු, මාධ්‍ය නිදහසත්, නීතියේ ආධිපත්‍යයත්, කළු ජනවාරියේ දී ප්‍රශ්න කිරීමට ලක් කරනු පිණිසත් සහ මේ සිදුවීම්වල වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට බලධාරීන්ට බල කර, ‘යුක්තිය’ ලබා ගැනීමට බලකරනු පිණිසත් ය.

“කළු ජනවාරිය” විශේෂයෙන් ජනමාධ්‍යට එරෙහිව එල්ලකළ අපරාධයන් සිදුකළ ‘අපරාධකරුවන්’ නීතිය හමුවට පමුණුවා නිසි ක්‍රියාමාර්ග ගැනීමට බල කිරීමත්, විශේෂයෙන් එම අපරාධයන් හී ගොදුරු බවට පත්වූවන්ට ‘යුක්තිය’ ලබා ගනු පිණිස සිදුකරන බලපෑම් ක්‍රියාවලියකි. එමෙන්ම ලංකාව තුළ දශක ගණනාවක් පවත්වාගෙන එන ‘දණ්ඩමුක්තිය’ අවසන් කිරීමට බලධාරීන්ට බලපෑම් කිරීමත්, ඒ සඳහා පුරවැසි සමාජය දිරිගැන්වීමත්ය.

මේ එම බිහිසුණු ජනවාරියේ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්…

සතාසිවම් ශිවශන්මුගමුර්ත (සුන්දරම්) මාධ්‍යවේදී – 1982 ජනවාරි 02

ඩී. එන්. එස් පතිරණ (මාධ්‍ය සේවක) – 1989 ජනවාරි 24

ආනන්ද නවරත්න (ලේඛක) – 1989 ජනවාරි 25

ලක්ෂ්මන් පෙරේරා (නාට්‍ය නිෂ්පාදක) – 1990 ජනවාරි 27

සුබ්‍රමනියම් සූගීර්දරාජන් (මාධ්‍යවේදී) – 2006 ජනවාරි 24

ලසන්ත වික්‍රමතුංග (කර්තෘ/මාධ්‍යවේදී) 2009 ජනවාරි 08

ප්‍රගීත් එක්නැළිගොඩ (මාධ්‍යවේදී) – අතුරුදහන් කර ඇත – 2011 ජනවාරි 24

උපාලි ගමගේ (අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකි, ‘වෙඩි හඬ’ සඟරාවේ සංස්කාරක – 1990 ජනවාරි

සත්‍යපාල වන්නිගම (ලේඛක) – පැහැරගත් දිනය 1987 නොවැම්බර් 18 – ඝාතනය වූ දිනය 1988 ජනවාරි අග

මාධ්‍ය අයතනවලට ප්‍රහාර එල්ලකිරීම

සිරිස රූපවාහිනි ආයතනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම – 2009 ජනවාරි 06

ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තැබීම – 2011 ජනවාරි 31

2006 වසරේ ජනවාරියේ සිදුවීම්

ජනවාරි 01: සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම.

ජනවාරි 05: වීරකේසරී පුවත්පතෙහි ජායාරූප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත්පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබීම.

ජනවාරි 05: යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. ඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරිණි.

2007 වසරේ ජනවාරි යේ සිදුවීම්

ජනවාරි 09: එස්. බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකප්පල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දීම.

ජනවාරි 12: ජනාධිපති රාජපක්ෂ දුරකථයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම,

ජනවාරි 18: ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් කාර්යාලයට ද එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට ද හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළෙඳ දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රැගෙන යෑම. පසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමුවේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය.

ජනවාරි 24: ත්‍රි.මලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම,

2008 වසරේ

ජනවාරි 01: පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කෙරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු ය.

ජනවාරි 03: යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන් යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම.

ජනවාරි 05: හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‘අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශනයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යෑම. එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත.

ජනවාරි 06: යාපනයේ උදයන් පුවත්පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණු මර්දනයක් දියත් විය.

ජනවාරි 07: අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් ශක්ති රූපවාහිනී අධ්‍යෂවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීම. අනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය.

සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා යාපනය බලා යමින් සිටි ජනමාධ්‍යවේදීන් ඇතුළු දහසක පමණ පිරිසක් යුද හමුදාව විසින් නතර කර ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කිරීම.

ජනවාරි 16: මව්බිම පුවත්පතේ කතරගම වාර්තාකරුට, කතරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත ඒකනායක විසින් පහරදීම.

ශ්‍රී ලංකාණ්ඩුව විසින් යුද්ධයට සමගාමීව දියත් කළ ජනමාධ්‍ය නිදහසට විරුද්ධව දියත් කළ සහ කරමින් සිටින යුද්ධය අවසන් කරන ලෙස අන්තර්ජාතික මානව හිමිකම් සහ ජනමාධ්‍ය සංවිධාන විසින් නැවත නැවතත් කරන ලද ආයාචනයන්ට මෙතෙක් සාධනීය ප්‍රතිචාර ලැබී නැත.

එසේම ඉහත දැක්වූ එකදු සිදුවීමක හෝ වැරදිකරුවන් සොයා දඬුවම් පමුණුවා නැත. ඒ ශ්‍රී ලංකා රාජ්‍යයේ මුල් බැස ඇති දුර්විපාක නොලැබීමේ සංස්කෘතිය විසින් ජනමාධ්‍ය නිදහසට තර්ජනය කරන්නවුන් ආරක්ෂා කරනවා පමණක් නොව පෝෂණය ද කිරීම නිසාවෙනි. එහි විපාකය වී ඇත්තේ ලංකාවේ ජනමාධ්‍ය විසින් අතිශය හානිදායක ස්වයංවාරණයක් පවත්වා ගෙන යෑමය. එමනිසා නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම වන දැනුවත් පුරවැසියා ගොඩනැගීමට ජනමාධ්‍ය හි දායකත්වය ඇත්තේ ඉතාමත් පහළ ය. කළුජනවාරියක් ලෙස නම් කරමින් නැවත මෙවන් සිදුවීම් සිදු නොවීමට රජයට සිහිපත් කිරීම සඳහා වෘත්තීය මාධ්‍යවේදීන් එක්ව ගෙන යන සිහිකිරීමේ වැඩසටහන අනාගත මාධ්‍යවේදීන්ගේ වෘත්තිය භවය ආරක්ෂා කිරීමට රුකුලක් වනු ඇත.

මෙවරද වෘත්තිය ජනමාධ්‍ය ව්‍යාපාරය විසින් උතුරු හා දකුණ එක්ව සෑම පළාතකම නියෝජනයක් ඇති ව “2024 කළු ජනවාරිය” යාපනය පුස්තකාලයේදී පැවැත්වූයේ ඒ නිසා ය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment