අපරාජිත කැන්ඩි පරාජය කරමින් ගාල්ල තියුණු ජයක් ලබයි

191

තනුක දාබරේ සහ නුවනිදු ප්‍රනාන්දු

තරගාවලියේ මෙතෙක් අපරාජිත කණ්ඩායම ලෙස පෙරමුණ ගෙන සිටි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ලකුණු 12කින් පරාජය කරමින් මෙවර එල්පීඑල් තරඟාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට ගෝල්ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත් විය.

එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස නුවර කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 141ක් පමණි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 10 කට බිඳ වැටුණද ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 153 ක් කරා රැගෙන යෑමට ආරම්භක පිතිකරු තනුක දාබරේ සහ අංක හය පිතිකරු නුවනිදු ප්‍රනාන්දු දෙදෙනා සමත් වූහ. ඔවුහු 5වැනි කඩුල්ල සඳහා ලකුණු 113 ක සම්බන්ධතාවයක් පැවැත් වූ අතර එය ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ තනුක දාබරේ පන්දු 51ක් තුළදී ලකුණු 70ක් ලබා ගත් අතර ග්ලැඩියේටර්ස් ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියේය.

ඒ වන විට තනුක දාබරේ තමන් මුහුණ දුන් පන්දු අතරෙන් හයේ පහර දෙකක් සහ හතරේ පහර 6ක් වාර්තා කර තිබුණි. ඔහුට අනගි සහයක් ලබාදුන් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 56 ක් ලබා ගත්තේය.

ග්ලැඩියේටර්ස් ඉනිමේ ආරම්භය සුණුවිසුණු කර දැමූ කාලොස් බ්‍රැත්වයිට් සහ ඉසුරු උදාන දෙදෙනා තරගයේ හතරවන පන්දුවාරයේ තෙවන පන්දුව වන විට ග්ලැඩියේටර්ස් පිතිකරුවන් හතර දෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූහ.

එහිදී නායක කුසල් මෙන්ඩිස් 1 ලකුණකටත්, ලහිරු උදාර ලකුණු 5කටත්, අසාම් ඛාන් ලකුණු 1කටත්, ඉෆ්තිකාර් අහමඩ් ලකුණු බිංදුවකටත් දැවී ගියහ.

පන්දු යැවීමේදී කාලොස් බ්‍රැත්වයිට් කඩුලු 3ක් සහ ඉසුරු උදාන කඩුලු 2ක් දවා ගත්හ.

ලකුණු 154ක ඉලක්කයක් හඹාගිය නුවර කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 71 ක් තුළ බිඳ දැමීමට ගාල්ල පන්දු යවන්නෝ සමත් වූහ. ඒ වන විට ගාල්ල කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 29ක් ලබා ගත් අතර ඇන්ඩි ෆ්ලෙචර් ලකුණු 8කටත්, කමිදු මෙන්ම ලකුණු 9කටත්, වනිදු හසරංග ලකුණු 6කටත්, අශාන් ප්‍රියන්ජන් 1 ලකුණකටත්, කාලොස් බ්‍රැත්වයිට් ලකුණු 4ටත් දැවී ගියහ.

බිඳවැටුණු නුවර කණ්ඩායම ගොඩනැගීමට අශේන් බණ්ඩාර සහ චාමික කරුණාරත්න දෙදෙනා ඉනිමේ අවසාන භාගයේදී ප්‍රබල උත්සායක් ගත්ත ද ඔවුන්ගේ ඉනිම් පිළිවෙලින් ලකුණු 41කට සහ ලකුණු 32කට සීමා විය.

advertistmentadvertistment
advertistmentadvertistment