සියවස් සැමරුම් ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවය උත්කර්ෂවත් ලෙස පවත්වනවා

106

විදෙස් ක‍්‍රීඩකයන් පහළොස් දෙනකු එනවා

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු


ජාතික මලල ක‍්‍රීඩා සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වන සියවස් සැමරුම් ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගත් ක‍්‍රීඩා ඉසව් කිහිපයක් වෙනුවෙන් රටවල් පහකින් විදෙස් ක‍්‍රීඩකයන් පහළොස් දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතව ඇතැයි ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පෙරේදා (29 වැනිදා)  ප‍්‍රකාශ කළේය.

ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරමින් අදාළ ක‍්‍රීඩකයින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම තරඟාවලිය සඳහා ක‍්‍රීඩකයන් 520ක් සහ ක‍්‍රීඩිකාවන් 215ක් පමණ තරග වැදීමට ලියාපදිංචි වී ඇති බවත් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ ය.

මෙම තරගාවලිය සඳහා පූර්ණ අනුග‍්‍රහය එස්එල්ටී මොබිටෙල් ආයතනය මගින් ලබා දෙන බවත් මෙම තරගාවලියේ සියලූ තරග දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී අපේ‍්‍රල් මස 08, 09 සහ 10 යන තෙදින තුළ පැවැත්වෙන බවත් කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේ සිදු කෙරෙන නවීකරණ කටයුතු හේතුවෙන් මෙම තීරණයට එළඹි බවත් ඒ මහතා පැවසීය.

මලල ක‍්‍රීඩා සංගමයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සම්මන්ත‍්‍රණයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අපේ‍්‍රල් මස 07 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවැත්වීමට නියමිත වේ.

ඔලිම්පික් පිටියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ප‍්‍රවීණයින් ඇතුළු පැරණි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහ මලල ක‍්‍රීඩා සංගමයේ ආදි සාමාජිකයින් ඇතුළු 400කගේ සහභාගීත්වයෙන් එදිනම සවස දකුණු ආසියානු මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂ සැසියක් ද ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය.

මාධ්‍ය සාකච්ඡුාව අමතමින් මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා තවදුරටත් මෙසේද ප‍්‍රකාශ කළේය.

ඕනෑම ආයතනයක, ඕනෑම මිනිස් චරිතයක අවුරුදු 100ක් කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි ආසියාවේ තුන්වෙනි රට තමයි අවුරුදු 100ක් සංගමයක් වැඩ කරපු. අපිට ඉදිරියෙන් සිටින්නේ ජපානය සහ කොරියාව පමණයි. ලෝක මලල ක‍්‍රීඩා සංගමය ගත්තත්, අපි මුලින් සාමාජිකත්වය ලබා ගත්ත සංගම් ගැන බැලූවත් අපි 40 වැනි තැන ඉන්නවා. ඒ වගේම අපි තමයි දකුණු ආසියාවෙන් මුලින්ම ලෝක මලල ක‍්‍රීඩා සංගමයේ සාමාජිකත්වය ගත්තේ.”

මෙම තරගාවලිය මේ වසරේ පැවැත්වෙන ආසියානු ක‍්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සහ ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවයට සුදුස්සන් තේරීම සඳහා සලකා බලනවා. ඒ වගේම අපි දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් කිහිපයකට ආරාධනා කළා ඔවුන්ගේ ක‍්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගී කරන්න කියලා. ඒ අනුව මැලේසියාව, පාකිස්තානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහිපදෙනකු මෙවර තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ප‍්‍රධාන අනුග‍්‍රහය එස්එල්ටී මොබිටෙල් ආයතනය විසින් ලබාදෙන අතර ඒ පිළිබඳව දැනුවත් කරමින් එහි කොළඹ කලාපීය ප‍්‍රධානි ඩෙනම් පෙරේරා ප‍්‍රකාශ කළේ,

අපි ඉතාමත් සතුටුයි වගේම ආඩම්බර වෙනවා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයට සියවසක් සපිරෙන මෙම විශේෂ අවස්ථාව සඳහා ප‍්‍රධාන අනුග‍්‍රාහයකයින් විදියට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. ඒ වගේම අප ආයතනය විසින් මෙය සාර්ථක කරගන්න අවශ්‍ය සියලූම දේවල් කරන්න අපි සූදානම්.

කුෂාන් සුබසිංහ

පින්තූරය කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment