මීගමුව පිටිපන දුන්ගාල්පිටිය – ලෙල්ලමේ තරුණයා ඝාතනය අත්වැරදීමක්

877

අවිගත්තෝ තවත් තරුණ ජීවිතයක් වනසති
පොලිසිය සීසීටීවී දර්ශන පසුපස පන්නයි
මගේ පුතාට හතුරෝ හිටියේ නෑ: ඇයි මේ අපරාධය කළේ? – ධනුෂ්කගේ මව

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල නතර කරන වාහනවලට ප්‍රවේශපත්‍ර නිකුත් කරන තරුණයාගේ හිසට වෙඩි තබා පෙරේදා (12දා) උදෑසන ඝාතනයට ලක්කර ඇත්තේ සැකකරුවන්ට සිදු වූ අත්වැරැද්දකින් බවට තොරතුරු හෙළිවන බව මීගමුව පොලිස් අධිකාරි එරික් පෙර්රා මහතා ‘දිවයින’ට පැවසීය.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීගමුවේ උතුර පිටිපන පදිංචිව සිටි ධනුෂ්ක අංජන නමැති 25 හැවිරිදි තරුණයෙකි. මොහු ළඟදී විවාහ වීමට නියමිතව සිටි බව ද පැවසේ.

මියගිය තරුණයා පිටිපන ලෙල්ලමේ රාජකාරියේ නිරතව සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අතරින් බිමට බැස්ස අයකු විසින් ඔහුගේ හිසට වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. පිටිපන ලෙල්ලම මාළු වෙළෙඳපොළ අසල එම අවස්ථාවේ විශාල පිරිසක් ගැවසුන ද සැකකරුවන් තරුණයා ඝාතනය කර යතුරුපැදියෙන් පලාගොස් ඇත.

පොලිසිය පවසන පරිදි අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන සැකකරුවන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට සම්බන්ධයක් නැති පුද්ගලයකුට බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. මෙම තරුණයාට හැඩරුවින් සමාන වෙනත් තරුණයකු සිටිය හැකි බව පොලිසිය කියයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දුන්ගාල්පිටිය පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති රෝහණ සිල්වා මහතා විසින් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහතාගේ සහ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. සීසීටීවී දර්ශන අනුව සහ ඝාතකයන් පැමිණි යතුරුපැදි අංකය අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අසීරු නොවන අතර මියගිය තරුණයාට ලැබුණු දුරකථන පණිවුඩ අංක ද විමර්ශනවලට යොදාගෙන ඇත.
නෝමන් පලිහවඩන, මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක, මීගමුව – විමල් කීර්ති සහ දුන්ගාල්පිටිය – ජූඩ් හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment