දින දෙකකට නිවාඩු අරන් හම්බන්තොට රෝහලේ එකම නිර්වින්දන දොස්තර රට ගිහින්

299

සියලුම සැත්කම් අනාථයි: – රෝගී ජීවිත මරු කටේ
මම දැන් එංගලන්තයේ – වෛද්‍යවරයාගෙන් කෙටි පණිවිඩයක්

හම්බන්තොට මහ රෝහලේ සේවය කළ එකම නිර්වින්දන වෛද්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් අවසරයක් නොලබා පසුගිය 11 වැනිදා විදෙස්ගත වීම හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ යොදාගෙන තිබූ සිසේරියන් සැත්කම් ඇතුළු ජීවිත ආරක්ෂක සැත්කම් සියල්ලම නතර කර දැමීමට සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ට සිදුව ඇත. ඒ හේතුවෙන් රෝගීහු දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

හම්බන්තොට මහ රෝහලේ දැඩිසත්කාර ඒකක දෙකක ප්‍රතිකාර ලබන රෝගීන්, සිසේරියන් සැත්කම් මෙන්ම වෙනත් රෝගී තත්ත්වයන් හේතුවෙන් සැත්කම් සඳහා දින ලබා දී තිබූ රෝගීන් ඇතුළු සැලසුම්කර තිබූ සියලුම සැත්කම් මේ නිසා දින නියමයක් නොමැතිව කල් දැමීමට හම්බන්තොට මහ රෝහලේ සෙසු විශේෂඥ වෛද්‍යවරුන්ට සිදුව තිබේ.

හම්බන්තොට මහ රෝහලට නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනකු අනුමත කර තිබුණද මෙතෙක් එහි සේවය කර ඇත්තේ එක් නිර්වින්දන වෛද්‍යවරයකු පමණි. එම වෛද්‍යවරයාද පසුගිය 11 වැනිදා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව දින දෙකක කෙටි නිවාඩුවක් ලබා සිටි අවස්ථාවක විදෙස්ගත වී තිබේ. එම නිර්වින්දන වෛද්‍යවරයා විදෙස්ගත වී ඇති බව දැන ගැනීමට ලැබී ඇත්තේ පසුගිය 12 දා එම වෛද්‍යවරයා විසින් තමන් එංගලන්තයට පැමිණි බවට සෙසු වෛද්‍යවරුන් කිහිප දෙනකුට එවා තිබූ කෙටි පණිවුඩයක් මගිනි. මෙම වෛද්‍යවරයා විශේෂඥ පුහුණුව සහිතව ශ්‍රී ලංකාවට පැමිණ ලද මුල්ම පත්වීම මෙය බවත්, ඔහු පත්වීම ලැබ සේවය කර ඇත්තේ මාස තුනක් තරම් කෙටි කාලයක් පමණක් බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය.

රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරයා මෙලෙස රට හැරයෑම නිසා හම්බන්තොට මහ රෝහලේ සැත්කම් අපේක්ෂාවෙන් ලැයිස්තුවේ සිටින සියලුම රෝගීහු දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස පැවසීය.

“හම්බන්තොට මහ රෝහලට අනුමත නිර්වින්දන වෛද්‍යවරුන් ගණන දෙදෙනායි. නමුත් රෝහලේ මේ වන තෙක් එම තනතුරේ සේවය කළේ එක් වෛද්‍යවරයකු පමණයි. එම වෛද්‍යවරයාත් පසුගිය 11 වැනිදා විදෙස්ගතව ඇති බවට මා වෙත දැනගන්න ලැබුණා. මේ වන තුරුත් එම වෛiවරයා ඔහු විදෙස්ගත වී ඇති බවට නිසි දැනුම්දීමක් කර නෑ. ඔහු රෝහලෙන් දින දෙකක කෙටි නිවාඩුවක් පමණයි ලබාගෙන තියෙන්නේ. එහෙම නැතිව විදෙස්ගත වීමට ඔහු මේ වනතෙක් නිවාඩුවක් අනුමත කරගෙන නෑ.

කෙසේ නමුත් මේ තත්ත්වය පිළිබඳව මා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමට පියවර ගත්තා. නිර්වින්දන වෛද්‍යවරයා නොමැති වීම නිසා යොදාගෙන තිබූ සියලුම සැත්කම් නවතා දැමීමට සිදුව තිබෙනවා. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා” යැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසීය.
මත්තල – දිලීප් එන්. ජයසේකර, තිස්සමහාරාම – අමිල සම්පත්

advertistmentadvertistment
advertistmentadvertistment