සුද්දගේ කාලේ ඇවිත් හදපු කොරටුවේ චීන්නු නෑ!

414

ගාල්ලේ චීන කොරටුවේ කතාව

නමක් නැති ගමක් නැත. සෑම ගමකටම කුමන හෝ නමක් පටබැඳී ඇත්තේය. ගමට නම්පට බැඳීම පිළිබඳව ඒවටා ගෙතී ඇත්තේ හරි අපූරු රසවත් කථාන්දරයන්ය. ගාල්ලේ චීන කොරටුවද එවැනි ගම්මානයකි. වරක් හිටපු අගමැතිවරයකු වූ ආචාර්ය විජයානන්ද දහනායක මහතා මැතිවරණ වේදිකාවලදී චීන කොරටුව සහ චීන්නු ගැන හරි අපූරු කථාවක් කළේය. ඒ එක්දහස් නමසිය හැටේ මහමැතිවරණයේ දීය. එවර රටේ ජනරැල්ල සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ නායකත්වයෙන් යුතු සමගි පෙරමුණ වෙත ගොඩනැඟී තිබුණි. මැතිණිය හා චීන රජය අතර පැවතියේ දැඩි සමීප සම්බන්ධතාවයකි. දහනායක මහතා ගාල්ල ආසනය සඳහා එජාපයෙන් මැතිවරණ සටනට පිවිස සිටියේය.

බලන්න දැන් ගාල්ලේ චීන්නු පැළපැදියම් වෙලා. චීන්නු ගාල්ලට ඇවිත් චීන කොරටුව කියලා ගමක්ද නම් කරගෙන තියෙනවා. මේ විදියට චීන්නු ගාල්ලේ පැලපැදියම් වෙන්න පටන් ගතහොත් වැඩි දවසක් යන්න කලින් චීන්නු මුළු ගාල්ලම අල්ලා ගන්නවා. සිරිමාවෝ මැතිණියට අවශ්‍ය ගාල්ලත් චීනාට දෙන්න. මේ දහනායක ඉන්නකම් ඒකට ඉඩ දෙන්නේ නැහැ. දහනායක මහතා මැතිවරණ රැස්වීම්වලදී එසේ කීවේය. ගාල්ල චීන්නුන්ගෙන් බේරාගන්න දහනායකට ඡන්දය දෙන්න එදා දහනායක මහතා මැතිවරණ වේදිකාවලදී ඡන්ද දායකයන්ට ලබා දුන් පොරොන්දු සිහිපත් කරමින් අදටත් ගාල්ලේ පැරැන්නෝ බඩ අල්ලාගෙන සිනහවෙති. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට එවර පැවැති මහ මැතිවරණයේදී එජාපය මුළු රටෙන්ම අන්ත පරජයක් ලබද්දී දහනායක මහතා ගාල්ල අසුන රැකගත්තේය.

කෙසේ වුවද එදා දහනායක මහතා චීන ජාතිකයන්ට විරුද්ධව මහ මැතිවරණයේදී කථා කළද ගාල්ලේ පැලපැදියම් වූ චීන ජාතිකයන් කිහිපදෙනකුට පුවැසිභාවය ලබාදීම සඳහා දහනායක මහතා මැදිහත් විය.

චීනයේ පිනෑංහි සිට චීන ජාතිකයන් 47 දෙනකු ගාල්ලට රැගෙන එනු ලැබූවේ එවකට මෙරට ආණ්ඩුකාරවරයාව සිටි පෙඩි්‍රක් නෝත්ගේ නියෝගයකට අනුව බව පොතපතේ සඳහන් වේ. ඔහු ක්‍රි. ව. 1798 සිට 1805 දක්වා මෙරට ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය. ලන්දේසින්ගේ පාලන කාලයේ දී ඇතැම් චීන ජාතිකයන් මෙරටට එවූ බව හෝ පිටුවහල් කළ බව සඳහන් වේ. කෙසේ වුවද යුරෝපීය ජාතීන්ගේ ලංකා ගමනයත් සමග මෙරට වාසය කළ චීන ජාතිකයන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇත. කෙසේ වුවද මෙකී කාලයේ දී චීන ජාතිකයන් විශාල පිරිසක් බතාවියා ප්‍රදේශයට පැමිණ තිබුණි. එම චීන ජාතිකයන්ගෙන් අති බහුතරයක් නීති විරෝධී ලෙස පැමිණ තිබුණි.

සුද්දගේ කාලේ ඇවිත් හදපු කොරටුවේ චීන්නු නෑ!

ඒ අනුව බතාවියේ නීති විරෝධී ලෙස චීන ජාතිකයන්ගෙන් බහුතරයක් මෙරටට පිටුවහල් කළයුතු බවට ලන්දේසි පාලකයන් විසින් තීරණය කරණු ලැබීය. එයට හේතු වශයෙන් දක්වා තිබුණේ මෙරට සියඹලා අස්වැන්න නෙළීම සඳහා චීන ජාතිකයන් යොදවා ගැනීම තුළින් විශාල ආදායමක් ලබාගත හැකි බවය. කෙසේ වුවද මෙසේ පිටුවහල් කරණු ලැබූ චීන ජාතිකයන් ලංකාවට නොයවන බවත් ජාවා වෙරළෙන් නික්මුණු විගස ඔවුන් මහ මුහුදට ඇද දමන බවට චීන ජාතිකයන් අතර කටකථාවක් පැතිර ගොස් තිබුණි. ඒ අනුව මෙකී කාලයේ දී බතාවියේ විසූ චීන ජාතිකයන් සහ ලන්දේසි පාලකයන් අතර ගැටුමක් ඇතිවිය. බතාවියේ සිදුවූ මනුෂ සංහාරයත් සමග චීන ජාතකයන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට හේතු වූ බවද සඳහන් වේ.

ඒ කොයිහැටි වුවද ගාල්ලට පැමිණි චීන ජාතිකයන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වූහ. චීන්නු චීන කොරටුව ප්‍රදේශයේ එළවළු භෝග වගා කිරීමට කටයුතු කරණු ලැබීය. එළවළු භෝගවලට වන සතුන්ගෙන්සිදුවන හානි වැළැක්වීම සඳහා චීන ජාතිකයන් විසින් එළවළු භෝග වගා කළ බිම්කඩ කොටුකර වැටවල් ගැසීමට කටයුතු කරණු ලැබීය. ඉන් පසු මෙම ගම්මානයට චීන කොරටුව ලෙස නම්පටබැඳුණු බව පැරැන්නෝ පවසති. චීන ජාතිකයන් මෙකී ඉඩම් බදු පදනම මත රජයෙන් ලබාගෙන එළවළු වගා කරනු ලැබීය. එකළ මෙහි වගාකරනු ලැබූ තක්කාලි, මිරිස්, වම්බෝටු, කරවිල, පතෝලා, මෑකරල්, පිපිඤ්ඤා ආදී එළවළු වර්ග චීන්නුන්ගෙන් සිංහල පවුල්වල ඇත්තන් මිලදීගත් බව ජී.වී.ජී. විලියම් මහතා විසින් ලියනු ලැබූ ගාලු ඉතිහාසය නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. සිංහල පවුල්වල අය කුල්ලක, වට්ටියක හෝ කිරිගොට්ටකට තුට්ටුවක්, පයිසාවක්, සතයක් දමා එළවළු කොරටුවේ පිටතින් සිට චීන ජාතිකයන්ට ලබාදුන් විට මෙකී භාජනවලට එළවළු පුරවා චීන්නුන් විසින් ලබාදී ඇත. කෙසේ වුවද ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ 1812 වන තුරුම චීන කොරටුව යන නමින් ගමක් තිබී නැත. එකල ගාලු වරායේ කුලීකරුවන් ලෙසද චීන ජාතිකයන් පිරිසක් සේවයේ යෙදී සිටියහ. ඔවුහු යළි සියගම්බිම් බලා යෑම අත්හැර දමා චීන කොරටුවේ පදිංචි වූහ. ඔවුන් සිංහල කාන්තාවන් සමග විවාහ වූහ. චීන කොරටුවේ ගම්මුන් සමගද මොවුන් ඉතා සුහදව කටයුතු කරනු ලැබීය. ඒ විතරක් නොව චීන කොරටුවේ පුද්ගලයාගේ පෙළපත චීන අම්මාගේ පෙළපත යන නමින් ප්‍රබල දරු පරම්පරාවක් ද ඇති විය.

ඒ විතරක් නොව චීන කොරටුවේ කැකිරිබොක්ක නමින් වත්තක් අදටත් දක්නට ඇත. මෙකී භූමියේ එකළ චීන ජාතිකයන් විසින් කැකිරි වගා කළ නිසා කැකිරිබොක්ක ලෙස නම්පට බැඳී ඇති බව සඳහන් වේ. එකළ චීන වෙළ නමින් සඳහන් බිම්කඩක් දුම්රිය මාර්ගයට හා කැපූ ඇළට මායිම්ව පිහිටා තිබුණි. චීන කොරටුවේ කඹවාන නමින් නම්පට බැඳී ඇති වත්තක්ද තිබේ.

ඒ කාලයේ චීනය ඇතුළු රටවලින් රුවල් නැව් විශාල සංඛ්‍යාවක් ගාලු වරායට පැමිණ තියෙනවා. එම නෞකාවලට අවශ්‍ය කඹ අඹරලා තියෙන්නේ චීන කොරටුවේ මෙම වත්තේ ඉඳගෙන. ඒ නිසා තමයි මෙම වත්තට කඹවාන කියලා නම්පට බැඳිලා තියෙන්නේ. අදටත් කඹවාන වත්ත චීන කොරටුවේ ප්‍රසිද්ධ වත්තක්. ඒ කාලයේ චීන ජාතිකයන් මෙන්ම සිංහල අය මෙම වත්තේ හරි හරියට කඹ අඹරලා තියෙනවා. කිලෝමීටරයක් පමණ දිගට කඹ අඹරලා තියෙනවා. ඇත්තටම ඒ කාලයේ කඹ ඇඹරීමත් හොඳ ආදායම් මාර්ගයක් බවට පත්වෙලා තියෙනවා යැයි චීන කොරටුවේ පදිංචිකරුවකු වූ කමල් සිරිවර්ධන මහතා (60) කීවේය.

මේ කාලයේ දී චීන නෞකා නිරන්තරයෙන් ගාලු වරායට පැමිණ තිබේ. හාල්, ඉඟුරු, හඳුන්කූරු, කපුරු, පුවක්, පොල්, අරක්කු, ගම්මිරිස්, උක්ගස්, තෙල් බෙහෙත් ආදී භාණ්ඩ මෙම නෞකා මගින් චීනයට රැගෙන ගොස් ඇත. එමෙන්ම 1409 දී යුංලෝ චීන රජුගේ අනුමැතියෙන් මෙරටට පැමිණි චිංහෝ ප්‍රධාන චීන හමුදාවක් ගාල්ලෙන් ගොඩබැස මෙහි කාලයක් ගතකොට තිබුණි. මෙම පිරිස අතර සිටි චීන ජාතිකයකු බරවා රෝගය වැළඳීමෙන් මියගිය බවද සඳහන් වේ. එමෙන්ම චිංහෝ ගාල්ලේදී චීන භාණ්ඩ ප්‍රදර්ශනයක් සහ වෙන්දේසියක් පවත්වා තිබේ. ඔහු විසින් වෙන්දේසි කළ භාණ්ඩ අතර රත්‍රං, රිදී, පෝසිලේන්, ලක්ෂා, සිල්ක් හා බෞද්ධ පෙත්පත්ද තිබූ බව සඳහන් වේ. සැබැවින්ම ගාලු නගරය හා චීනය අතර අතීතයේ පැවතියේ දැඩි සමීප සම්බන්ධතාවයකි. ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය, චිංහෝ විසින් පිහිටුවන ලද්දකි. මෙය චීන, පර්සියානු සහ දෙමළ යන භාෂාවලින් ලියැවී ඇති සෙල් ලිපියකි. කොටින්ම කිවහොත් මෙකී සෙල් ලිපිය මගින් ගාල්ල පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් හෙළිකරන ප්‍රබල මූලාශ්‍රයකි.

සුද්දගේ කාලේ ඇවිත් හදපු කොරටුවේ චීන්නු නෑ!

කෙසේ වුවද කාලයාගේ ඇවෑමෙන් චීන ජාතිකයන් ගාල්ලෙන් ඉවත්ව ගොස් ඇත. අද ඉතිරිව ඇත්තේ ඔවුන්ගේ නාම මාත්‍ර සහ අතීත මතකයන් පමණි. චීන කොරටුවේ පදිංචි ගාල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී එම්. එස්. ඒ. රත්නපාල මහතා (68) මෙසේ කීවේය.

මා දැනට චීන කොරටුවේ අවන්හලක් පවත්වාගෙන යනවා. ඒ කාලයේ චීන්නු ඇවිත් චීන කොරටුවේ නතරවෙලා රෙදි වෙළෙඳාම් කළා. චීන කොරටුවේ නැවතිලා රෙදි වෙළෙඳාම් කළ චීන ජාතිකයකු ද හිටියා. ඔහුට ගම්මුන් කීවේ රෙදි චීනා කියලා. ඔහු සිංහල කාන්තාවක් සමග විවාහ වෙලා හිටියේ. මේ වනවිට ඔහු මියගිහින්. ඔහු චීන කොරටුවේ ගම්මුන් සමග ඉතා සුහදව කටයුතු කළා. මරණයට මඟුලට පවා ආපු අයෙක්. ඒ කාලයේ චීන ජාතිකයන් චීන කොරටුවේ සිටි බව අපේ පැරැන්නෝ කියනවා. කැපූ ඇළ ඉදිරිපිට ඇති ගොඩනැඟිලි ඒ කාලයේ ගුදම් වශයෙන් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඈත එපිට ගම්මානවල සිට රැගෙන එන කුරුඳු, පුවක්, කරාබු නැටි වැනි ද්‍රව්‍ය මෙම ගුදම්වල තමයි තිබිලා තියෙන්නේ. බෝට්ටු මගින් කැපූ ඇළ හරහා ගාල්ල වරාය වෙත ප්‍රවාහනය කරලා තියෙනවා රත්නපාල මහතා කීවේය.

කෙසේ වුවද චීන කොරටුවේ දැනට සිටින එකම චීන ජාතිකයා වන්නේ වෝන් ධර්මසේනය. (76) ඔහු ගාල්ල නගරයේ චීන දත් බැඳීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේය.

එක්දහස් නමසිය හතළිස් ගණන්වලදී චීනයේ තිබූ අභ්‍යන්තර යුද්ධයක් නිසා සරණාගතයන් වශයෙන් චීන ජාතිකයන් 500ක් විතර මෙරටට පැමිණ තියෙනවා. මගේ තාත්තාත් ඉන් එක් අයෙක්. තාත්තා චීනයේ සංතුස්වල තමයි ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ ඔවුන් ගාල්ල, මාතර, කළුතර, නුවර, බදුල්ල, යාපනය, අනුරාධපුරය යන ප්‍රධාන නගරවලට විසිරිලා ගොස් තියෙනවා. ඔවුන් රැකියාව වශයෙන් චීන දත් බැඳීමේ ව්‍යාපාර පවත්වාගෙන යෑම, නුඩ්ලස් හදලා විකිණීම, රෙදි වෙළෙඳාම තමයි කළේ. අපේ තාත්තා ත්‍රිකුණාමලය ප්‍රදේශයට ගොස් නුඩ්ලස් වෙළෙඳාම් කළා. තාත්තා වැඩිපුර හිටියේ ගල්කිස්සේ. තාත්තාගේ යාළුවෝ නුවර ප්‍රදේශයෙන් විවාහ වෙලා හිටියා. මිතුරන්ගේ මාර්ගයෙන් ඇතිවූ දැන හැඳිනකම් මත තාත්තා නුවර කාන්තාවක් සමග විවාහ වෙලා තියෙනවා. අපි මරදානේ පදිංචි වෙලා හිටියේ. මම පවුලේ දෙවැනියා. මට සහෝදරයන් එක් අයකු සහ සහෝදරියන් දෙදෙනකු ඉන්නවා. දැනට ඉන් දෙදෙනකු මියගිහින්. නංගි විතරයි දැන් ජීවතුන් අතර ඉන්නේ.

1964 දී තමයි තාත්තා එක්ක ගාල්ල නගරයට ආවේ. ගාල්ලට ඇවිත් චීන දත්බැඳීමේ සාප්පුවක් ආරම්භ කළා. 1969 දී මම අකුරැස්ස ප්‍රදේශයේ සිංහල කාන්තාවක් සමග විවාහ වුණා. මට දියණියන් හතර දෙනකු ඉන්නවා. මිණිපිරියන් හතර දෙනකු ද ඉන්නවා. දැන් මම සීයා කෙනෙක්. නමුත් මා චීන ජාතිකයකු වුවත් චීන භාෂාව කථා කරන්න බැහැ. තාත්තා මාත් සමග චීන භාෂාවෙන් කථා කළේ නැහැ. සිංහල භාෂාවෙන් තමයි කතා කළේ. ඒ නිසා චීන භාෂාව ඉගෙන ගත්තේ නැහැ. දැන් නම් චීන භාෂාව අවශ්‍යයි. මම පවුලේ දෙවැනියා. කටුගස්තොට රාහුල විද්‍යාලයෙන් සහ කොටුව මංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අපේ පවුලත් සමග හිටපු අගමැති දහනායක මහත්තයා ගොඩක් හිතවත්. අපේ අම්මා එතුමාගෙන් ඉල්ලීමක් කළා මෙරට පුරවැසිභාවය ලබාදෙන්න කියලා. දහනායක මහත්තයා තමයි අපේ පවුලේ අයට මෙරට පුරවැසිභාවය අරගෙන දුන්නේ. සෑම මැතිවරණයකදීම පාහේ මම ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. මේ කාලය තුළ දේශපාලන පක්ෂ 05කට විතර ඡන්දය දීලා තියෙනවා. මා චීන ජාතිකයෙක් වුවත් චීනයට ගිහින් තියෙන්නේ එක් වතාවයි. ඒත් ගියේ පවුලේ අයත් සමග සංචාරයක් සඳහා චීන ලංකා පාරම්පරික දත් බඳින්නන්ගේ සංගමයක් තියෙනවා. මාත් ඒ සංගමයේ සාමාජිකයෙක්. ඒ සංගමයේ චීන සම්භවයක් ඇති පවුල් 120ක් විතර ඉන්නවා. මා චීන ජාතිකයෙක් වුවත් හොඳ බෞද්ධයෙක්. වසර 06ක් එක දිගට වෙසක් උත්සවය නිමිත්තෙන් මගේ වියදමින් චීන කොරටුවේ බත් දන්සැලක් දුන්නා. පස්සේ තවත් අය සම්බන්ධ කරගෙන එම දන්සැල දුන්නා. දුගී පවුල්වල අයට අදටත් රෙදි පිළි ආහාර ද්‍රව්‍ය මා ලබාදෙනවා යැයි වොන් ධර්මසේන කීවේය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment