ආගමන කාලය ඇරැඹේ

85

මෙම ජනවන්දනා වසරේ ආගමන කාලය දෙසැම්බර් 3 වන ඉරිදායින් ආරම්භ වේ. ජේසු උපත සමරන නත්තලට සූදානම් වන සති හතරක කාල පරිච්ඡේදය කතෝලික සභා ව්‍යවහාරය අනුව ආගමන කාලය ලෙස හැඳින්වේ. ආගමනය යනු පැමිණීම හෙවත් සම්ප්‍රාප්තියයි. ඉංගිරිසියෙන් ඇඩ්වෙන්ට් ADVENT යන ආගමනය හඳුන්වන වදන ලතින් ඇඩ්වෙන්තුස් ADVENTUS යන්නෙන් බිඳී ආවකි. මේ අනුව කිතු බැතිමතුනට ආගමනය යනු ජේසු සමිඳුන්ගේ ආගමනය – සැපත පැමිණීම අපේක්‍ෂාවෙන් සිටින සමයකි. ආගමන සමය සාමාන්‍යයෙන් උදා වන්නේ නොවැම්බර් 27 හා දෙසැම්බර් 3 අතුරු සතිය තුළය. එය අවසාන වන්නේ දෙසැම්බර් 24 දා සවස 6.00 ටය.

මුල් යුගයේ ආගමනය සාමාන්‍ය ආකාරයේ පැමිණීමක් නොව රෝම අධිරාජ්‍යයා සිය බල ප්‍රදේශයේ වාසීන් බැහැදැකින්නට පැමිණි නිල සංචාරයක් විය. එය රටවැසියාට ආනන්දජනක වන්නට ඇත. අද ජේසු උපත ද නැවත වරක් තේජසින් යුතුව මහිමාන්විතව උන්වහන්සේගේ නැවත පැමිණීම ද සිහිපත් කරන්නට ආගමනය යොදාගෙන තිබේ.සමිඳුන්ගේ ස්වර්ගාරෝහණයෙන් පසුව අපෝස්තුවරුන් හා මුල් ක්‍රිස්තු අනුගාමිකයෝ ජේසු සමිඳුන්ගේ දෙවන පැමිණීම කඩිනමින් සිදුවෙතියි අපේක්‍ෂාවෙන් පසුවූහ. ක්‍රි.ව 70 දී රෝමවරුන් ජෙරුසලම විනාශ කළ පසුව සමිඳු ආගමනය සිදුනොවූ බැවින් එය තමන් නොදන්නා අනාගතයක සිදුවේ යැයි අවබෝධ කරගෙන ඊට අධ්‍යාත්මිකව සූදානම් වනු පිණිස නිශ්චිත කාලයක් ඊට වෙන්කර ගත්හ. ආගමන කාලය බවට පත්වූයේ මෙම කාලයයි. ආගමන කාලය ප්‍රධාන කොටස් 2 කි. ආගමන කාලයේ මුල් ඉරිදා සිට දෙසැම්බර් 16 දා දක්වා කිතුනුවෝ ජේසු සමිඳු දෙවන ආගමනයට සිහි කරති. දෙසැ.17 සිට 23 දක්වා පළමු නත්තල සිහිකරමින් දෙසැ.25 දා මැදියම් රෑ නත්තල් දේව මෙහෙයට සහභාගි වෙති. ආගමන කාලය සැමරීමේ ආරම්භය ක්‍රි.ව.4 වන සියවස දක්වා දිවේ. ඒ වත්මන් ප්‍රංශය හා ස්පාඤ්ඤය අයත් වන එදා ගෙවල් දේශයෙහිය. කතෝලික ජනවන්දනා වසර ආරම්භ වන්නේ ද ආගමන කාලය සමඟය. එසේ නැතිව ජනවාරි පළමු වැනිදා සිට නොවේ. විශේෂයෙන් නත්තල සැමරුමක් හා උත්සවයක් කර ගන්නවාට වඩා සමිඳුන්ගේ දෙවන පැමිණීම අපේක්‍ෂාවෙන් ජනතාව ඊට අධ්‍යාත්මිකව සූදානම් කරන, ඒ සඳහා පෝෂණය කරන අවස්ථාවක් කර ගැනීම වටිනේය.

කැලිස්ටස් ජයමාන්න හීන්කෙන්ද

ආගමන කාලය ඇරැඹේ
advertistmentadvertistment
advertistmentadvertistment