රස කෑමෙන් සප්පායම් වෙන්න අඩි 410ක් ගැඹුරු මහ පොළොව යට අවන්හලට එන්න

877

ශ්‍රී ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොව යට භූගත ආපන ශාලාවක් අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් විවෘත කිරීමට බෝගල මිනිරන් පතලේ කළමනාකරිත්වය පසුගිය 12 දා සමත්විය.

ආරම්භක අවස්ථාවට එක්වූ බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසුවේ මීට වසර 158 කට පෙර එනම් 1865 දී පමණ ආරම්භ කර ඇති බෝගල මිනිරන් පතල ලොව උසස් තත්වයේ මිනිරන් අපනයනය කරමින් ලෝකයේ ඉහළ නාමයක් දිනා ඇති ආයතනයක් බවත්. මෙහි මිනිරන් ජර්මනිය, ජපානය, දකුණු ආසියානු රටවල් වන ඉන්දියාව, පකිස්තානය වැනි රටවල්වලට අපනයනය කරමින් මෙරටට විශාල විදේශීය විනිමය උපයා දෙන සුවිශේෂී කර්මාන්ත ශාලාවක් බවත්ය.

රස කෑමෙන් සප්පායම් වෙන්න අඩි 410ක් ගැඹුරු මහ පොළොව යට අවන්හලට එන්න

අභාවප්‍රාප්ත විජය ප්‍රසන්න මලලසේකර මහතාගේ 78 වැනි ජන්ම දිනය යෙදී තිබුණු පෙරේදා 12 වැනිදා මෙතෙක් බෝගල මිනිරන් පතල භාවිතා කළ පතල මලලසේකර මිනිරන් පතල ලෙස නම් කර සමරු ඵලකය ඔහුගේ බිරිඳ වන නීරි මලලසේකර, පුත් රජීව් මලලසේකර, සභාපතිනී කොරලී පීටර් සෙන්, අධ්‍යක්ෂ සිඩ්නි ජයසිංහ, වර්තමානයේ විධායක අධ්‍යක්ෂ අමිල ජයසිංහ මහත්ම මහත්මීන් විසින් විවෘත කෙරිණ.

වර්තමාන විධායක අධ්‍යක්ෂ අමිල ජයසිංහ මහතා විජය ප්‍රසන්න මලලසේකර මහතාගේ බිරිඳට හා පුතුනුවන්ට සමරු තිළිණයක් ලෙස මිනිරන්වලින් නිර්මාණය කර තිබුණු ඇත් කැටයම් දෙකක් ද ප්‍රධානය කෙරිණ.

බෝගල මිනිරන් පතලේ දැනට ගැඹුර මීටර් 476 කි. අඩි 1585 කි. මීටර් 124 ක් (අඩි 410) ගැඹුරුට බැස ගත් අවස්ථාවේ දී විදේශිකයින් විසින් කැණීම් සිදු කර ඇති පළමු දෝනාව හමුවෙයි. එම දෝනාවේ මීටර් 150 පමණ ගිය තැන මෙම සුවිශේෂී භූගත ආපන ශාලාව ස්ථාපනය කර තිබේ. ආපන ශාලාවක් ලංකාවේ පළමුවරට දෝනාවක් තුළ ස්ථාපනය කර ඇත්තේ බෝගල මිනිරන් පතලේ බව ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය. මෙම ආපන ශාලාවේ වරකට පහළොස් දෙනෙකුට රැඳී සිට එහි සාදන කෑම බීම නරඹන්නන් හට භුක්ති විදිය හැක. තව ද ආපන ශාලාව අවට මිනිරන් කැණීම් සිදු කරන කම්කරුවන් පෙන්වා දෙමින් ඩමි කිහිපයක් ඉදි කර ආපන ශාලාවට පැමිණෙන ජනයාට දැක බලා ගැනීමට අවස්ථාව පාලනාධිකාරිය විසින් උදා කර දී තවත් සුවිශේෂී අවස්ථාවකි.

මිනිරන් පතල නැරඹීමට වයස අවුරුදු 14 වැඩි දරුවන්ගේ සිට යා හැකි බවත් විශේෂයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්හට යාමට අවසර පාලනාධිකාරිය විසින් හිමි කර දීම සුවිශේෂී කරුණකි. ඊට අමතරව අවසර ලත් සුවිශේෂී පුද්ගලයින්ට ද යා හැකි බව ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය.

ආපන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට බෝගල මිනිරන් පතලේ අධ්‍යක්ෂ සිඩ්නි ජයසිංහ, සභාපති කොරලී පීටර් සෙන් විධායක අධ්‍යක්ෂ අමිල ජයසිංහ, විජය ප්‍රසන්න මලලසේකර මහතාගේ පුත් රජිව් මලලසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු බෝගල මිනිරන් පතලේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
කොටියාකුඹුර රම්‍යපාල

advertistmentadvertistment
advertistmentadvertistment