දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කර තිබෙනවා – ඇමැති ගම්මන්පිල

109

වෘත්තීය සමිති කියන සියලූ සංඛ්‍යා ලේඛන වැරදියි

තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති උද්ඝෝෂණය කළාට ඩොලර් ලැබෙන්නේ නැති බවත් එබැවින් සංස්ථාවට ආදරය කරන සේවකයන් සංස්ථාව රැුක ගැනීම සඳහා දුරදිග බලා ආණ්ඩුව ගෙන ඇති පෙට‍්‍රල් හා ඞීසල් ඝෘජුව ආනයනය කිරීමේ තීන්දුවට සහයෝගය ලබාදිය යුතු බවත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඊයේ (18 දා) බලශක්ති අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.එහි දී වෘත්තීය සමිති විසින් එල්ල කරන චෝදනාවලට ද පිළිතුරු ලබාදුන් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘තෙල් පිරිපහදුව විවෘත කරනු’, ‘බොරතෙල් ගෙන එනු’ කියා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණයක් කරනවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කළ යුතු නිසා. උද්ඝෝෂණ කළාම ඩොලර් පහළ වෙලා බොරතෙල් මිල දී ගන්න පුළුවන් නම් මමත් උද්ඝෝෂණයට එකතු වෙනවා. මොකද මටත් ඕනෑ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න. උද්ඝෝෂණ කරලා විදේශ විනිමය උපයන්න පුළුවන්නම් මැද පෙරදිග රස්සාවල් කරන්න ගිහින් දුක් විඳලා ඩොලර් හම්බ කරනවාට වඩා ලංකාවේ උද්ඝෝෂණ කරලා ඩොලර් හම්බ කරන තිබුණා. නමුත් වෘත්තීය සමිති නොදන්නා ඇත්ත නම් උද්ඝෝෂණ කරලා ඩොලර් උපයන්න හැකියාවක් නෑ. බලශක්ති ඇමැති විධියට මට ඩොලර් උපයන්න හැකියාවක් නෑ. තෙල් ආනයනය සඳහා මුදල් මට මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුය.

ආයතනය රැුක ගැනීම සඳහා දුරදිග බලලා අපි තීන්දුවක් ගත්තාම ආයතනයට ආදරය කරන වෘත්තීය සමිතිවල වගකීම තමයි ඒ තීන්දුවලට සහාය දීම. ඒ තීන්දු වැරදි නම් කළ යුතු විකල්පය පෙන්වා දීම. එහෙම නොකර මෙවැනි බොළඳ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග අනුගමනය කරපු රාජ්‍ය ආයතන ගණනාවක් වැහිලා ගියා කියන තිත්ත ඇත්ත මට වෘත්තීය සමිතිවලට සිහිපත් කරන්න වෙනවා.

ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මැදි වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවක රටේ තෙල් නැති, තෙල් ගන්න ඩොලර් නැති, ගබඩා කරන්න ටැංකි නැති රටක් වෙලාත් තවමත් අපි අඛණ්ඩ තෙල් සැපයුමක් සහතික කර තිබීම ඇත්තෙන්ම හාස්කමක්. වෘත්තීය සමිති පමණක් නොවේ සමස්ත ජාතියම ඒ

ගැන සතුටු වෙන්න ඕනෑ.

බොරතෙල් සඳහා ඩොලර් නැතිනම් පිරිපහදු කළ තෙල්වලට ඩොලර් කොහෙන්ද යැයි විපක්ෂනායකතුමා අපෙන් ප‍්‍රශ්න කරනවා. අට සමත් විශ‍්‍රාමික සේවකයෙකුගෙන් තොරතුරු ලබා ගෙන කතා කරන්න ගියාම මා මිත‍්‍ර විපක්ෂ නායකතුමා අමාරුවේ වැටෙන එක නවත්වන්න බෑ. අපේ පිරිපහදුව යල් පැන ගිය එකක් නිසා බොරතෙල් බැරල් එකකින් පෙට‍්‍රල් ලීටර් 14ක් සහ ඞීසල් ලීටර් 29ක් වශයෙන් හැදෙන්නේ. ‘වෙනත් වචනවලින් කිව්වොත් පෙට‍්‍රල් සහ ඞීසල් බැරල් එකක් හදා ගන්න බොරතෙල් බැරල් 2.32 ඕනෑ. ඔක්තෝබර් මාසයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඞීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට‍්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඞීසල් සහ පෙට‍්‍රල් හැදෙන 14.29 අනුපාතයට ගත්තොත් පෙට‍්‍රල් – ඞීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට‍්‍රල් – ඞීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිලදී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි. මේ නිසා තමයි සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අපි බොරතෙල් ගෙන්වීම වෙනුවට සෘජුවම පෙට‍්‍රල් සහ ඞීසල් ආනයනය කරන්න තීරණය කළේ.

ඒ වගේම අධික වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලය අපෙන් දැවිතෙල් මිලදී ගන්නේ නෑ. දැනටත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල්වලින් නිෂ්පාදනය කළ දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කරලා තිබෙනවා. ඒ නිසා බොරතලේ ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බව කීම තවත් බොරුවක්. ඒ වගේම පිරිපහදුවේ ධාරිතාව නිෂ්පාදනය වන නිෂ්පාදිත අනුපාත ගැන වෘත්තීය සමිති කියන සංඛ්‍යා ලේඛන සියල්ලම වැරදියි.

සමන් ගමගේ සහ එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment