පොලිස් කූඩුවේ සැකකරුවන් 2 කට කිරි පැකට් දීම: ආදුරුප්පුවීදිය වැ.බ. ඕඅයිසී ඇතුළු 3 කගේ වැඩ තහනම්

559

ගෙනවිත් දුන් අය සොයා විමර්ශන

කිරි පැකට් ඇතුළට සයනයිඩ් දමලාද බිව් දෙදෙනාට තවමත් අසාධ්‍යයි

ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට පිටතින් පැමිණි පුද්ගලයකු විසින් පෙරේදා (7 දා) ලබාදුන් කිරිපැකට්ටුවක් පානය කිරීමෙන් පසු ඔවුන් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය එම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනකුගේ වැඩතහනම් කිරීමට ඊයේ (8 දා) පියවර ගෙන ඇත.

වැඩ තහනම් කර ඇත්තේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකි.

රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් දෙදෙනා බැලීමට එදින දහවල් 12.15 ට පමණ පුද්ගලයකු පැමිණ බනිස් හා කිරි පැකට්ටුවක් ලබාදී ඇති බවත් බනිස් කා කිරිපැකට්ටුව පානය කළ සැකකරුවන් දෙදෙනා සිරමැදිරිය තුළම සිහිසුන්ව වැටීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් සඳහන් විය.

බනිස් සහ කිරි පැකට්ටුව ලබාදුන් පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශය යොදවා සහ සීසීටීවී කැමරා උපයෝගී කරගෙන විමර්ශන ආරම්භ කර ඇත. සැකකරුවන්ට ලබාදුන් කිරි පැකට්ටුවේ සයනයිඩ් මුසු කර ඇති බවට සැකයක් පවතින බව පොලිසිය පවසයි. ඒ ගැන සොයාබැලීම සඳහා කිරි පැකට්ටුව රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමට කටයුතු කරමින් තිබිණි.

රෝහල් ගතව සිටින සැකකරුවන් දෙදෙනා පසුගිය 24 වැනිදා ජින්තුපිටියේදී මාළු වෙළෙඳාමේ නිරතව සිටි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබිණි. තරුණයා ඝාතනය පිටුපස දැනට විදෙස් ගතව සිටින කංජිපානී ඉම්රාන් සිටින බවට පොලිසිය සැකකර ඇත. රෝහල්ගතව සිටින දෙදෙනා තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment