දකුණු ආසියාවේ ලොකුම ලයිට් බිල ශ්‍රී ලංකාවේ ගෙවල්වලට

251

දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්‍රී ලංකාවේ බවත් නිවාසවල විදුලි ගාස්තු ලෙස ගෙවන මුදල කලාපයේ වෙන රටවලට වඩා 2.5% සිට 3% දක්වා වැඩි අගයක් ගන්නා බවත් විශ්ලේෂණයකින් හෙළිවී තිබෙන බව වෙරිටේ රිසර්ච් සඳහන් කරයි.

ආර්ථිකය හා බැඳුනු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන publicfinance.lk පළ කරන ලද මෙම විශ්ලේෂණයෙන්, ඒකක 100, 200 හෝ 300 යනාදී වශයෙන් විදුලිය පරිභෝජනය කරනවිට එම නිවාසවලින් කොපමණ විදුලි ගාස්තුවක් අය කරන්නේද, යන්න විමසුමට ලක්කර ඇත. විශ්ලේෂණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසර්ච් ආයතනයයි.

විශ්ලේෂණයට පදනම් කරගෙන ඇති ගණනය කිරීම සඳහා සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැලකිල්ලට ගෙන ඇත. ඒ හැරෙන්නට වෙනම අයකෙරෙන සමාජ ආරක්‍ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැලකිල්ලට ගෙන නොමැත.

කලාපයේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේය. නමුත් එම ගාස්තු ද, ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩුය. විදුලි ඒකක 100 ක් පරිභෝජනය කරන ශ්‍රී ලංකාවේ නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිත කරන පකිස්තානයේ නිවෙස්වලට වඩා 50% කින් ඉහළය. ඒකක 300ක් භාවිත කරන නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව 97% කින් ඉහළය.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යෑම අන්තර් ජාතික මූල්‍ය අරමුදලට මෙරට ලබාදී තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නකි. එම කැපවීමට අනුව ලංකා විදුලිබල මණ්ඩලය, පාරිභෝගිකයන් මත පණවන ගාස්තු සහ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන ඕනෑම සහනාධාරයක් ඒකාබද්ධයෙන් එහි සම්පූර්ණ වියදම ආරවණය කරගනු ඇති බවද එම සමීක්‍ෂණ වාර්තාවේ දැක්වේ.

මෙම මස (2024 පෙබරවාරි) සිදුකිරීමට සැලසුම් කර ඇති බදු අඩු කිරීම යටතේ විදුලි ගාස්තු 4% කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙනු ඇත. නමුත් එම අඩු කිරීමේ බලපෑම නොගිනිය හැකි තරම් වේ. එහි අර්ථය නම් ශ්‍රී ලංකාවේ නිවෙස්වලට දකුණු ආසියා කලාපයේම ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවනු ඇත යන්න යැයිද එම වාර්තාවේ සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment