ළමයින්ට කතා කළ යුත්තේ ආදරයේ භාෂාවෙන් පමණි

613

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී එය වීඩියෝගතකර සමාජ මාධ්‍යයට එක් කළ දුෂ්ට පියකු ගැන පුවතක් ඊයේ දිවයිනේ පළවී තිබිණ. පිළිවෙළින් අවුරුදු නවයක් සහ අවුරුදු පහක් වන දරුවන් දෙදෙනා ඔවුන්ගේ මිත්තනිය භාරයේ සිටින බවත් ඔවුන්ගේ මව හෙවත් විත්තිකාර පියාගේ බිරිඳ ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති බවත් දැනගන්නට ඇත. විත්තිකරු දරුවන්ට පහරදී ඇත්තේ ඔවුන් අකීකරු බව කියමිනි. ගුටි කන අවස්ථාවේදී ළමුන් දෙදෙනා වේල් කිහිපයක් නිරාහාරව සිට ඇත. අන්තිමට මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන හිඟුල පොලිසියේ නිලධාරීහු සිය පෞද්ගලික මුදලින් දරුවන්ට ආහාර පාන රැගෙන දුන්හ. සිද්ධියට සම්බන්ධ පියා මෝඩම මෝඩ ගොනෙකි. මෙවැනි අමානුෂික සිද්ධියක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ සැණින් පොලිසිය තමන් පසුපස එන බව මේ මී හරකාට නොතේරේ. එවැනි දැනුමක් නැති මී හරකකු ඉතාම අනාරක්ෂිත පියෙකි. ඔහුගෙන් දරුවකුට තබා සතකුටවත් ආරක්ෂාවක් නැත. සමහරවිට ඔහු මේ පහරදීම සමාජ මාධ්‍යයට එක්කරන්නට ඇත්තේ සිය බිරියට බලාගැනීමට විය යුතුය. එවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේදී වාර්තා විය. මෙවැනි එක් සිදුවීමකදී විදේශගතව සිටින පුද්ගලයකුගේ දෙවන බිරිඳ විසින් ඔහුගේ නව යොවුන් දියණියට අතින් පයින් සහ කොසුවලින් භයානක ලෙස පහරදෙනු සමාජ මාධ්‍යයට මුදාහැර තිබිණ. මෙය වීඩියෝ කර තිබුණේ අසල්වැසියකු විසිනි. එම අසල්වැසියා මෙම ශෝකජනක දර්ශන පෙළ පියාට වට්ස්ඇප් කර තිබිනි. පියා එය ෆේස්බුක් එකට මුදාහැරියේය. දින දෙකක් තුළ මේ අමානුෂික දෙවන බිරිඳ අත්අඩංගුව ගෙන රිමාන්ඩ් කිරීමට පොලිසියට හැකි විය. තවත් තරුණ පියකු සිය කුඩා දරුවාට අමානුෂික ලෙස පහරදෙමින් එය වීඩියෝ කර විදේශගතව සිටින සිය බිරියට වට්ස්ඇප් මාර්ගයෙන් යවා වහාම මුදල් නොඑව්වොත් දරුවාට තවත් පහරදෙන බව සඳහන් කර තිබිනි. බිරිය එම දර්ශන පෙළ අන්තර්ජාලයට මුදාහැරියාය. පැය 24 ක් තුළ එම සිද්ධියට සම්බන්ධ තිරිසනා අත්අඩංගුවට ගන්නා ලදී. සමාජ මාධ්‍ය යනු මනුෂ්‍යයාගේ යහපත සඳහා පාවිච්චි කළ හැකි සංරචකයක් ලෙස මේ මගින් තහවුරු වේ. හැබැයි සමාජ මාධ්‍ය මගින් මිනිසුන්ට කැත විදිහට මඩ ගසන විට එය නියාමනය කිරීම අත්‍යවශ්‍ය වෙයි. දෙමාපියන් හෝ වෙනත් පාර්ශ්ව විසින් දරුවන්ට පහරදෙන දරුවන් කෙළසන දර්ශන හැකි සෑම විටම වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරීම ජනතාවගේ යුතුකම වේ. සිය නිවසේ තාප්පය අසල මුත්‍රා කරන සුරතල් සුනඛයකුට වෙඩි තබා මැරූ පොලිස් ලොක්කකු ගැන මෙයට කලකට ඉහතදී අපට දැනගන්නට ලැබිණ. එම සිද්ධිය පිළිබඳ CCTV දර්ශන අන්තර්ජාලයට මුදාහැරීමත් සමගම අපරාධකරු අල්ලාගැනීමට හැකි විය.

හොඳම දේ ළමයින්ට යනුවෙන් කියමනක් තිබේ. අපේ රටේ හැටියට එය බයිලා එකක කොටසකි. ලංකාවේ ළමයින් සැලකිය යුතු පිරිසකට ලැබෙන්නේ නරකම දේය. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ලෝකවාසී ළමයින් සියලුම දෙනාට ජාති, කුල, වර්ණ, පන්ති භේදයකින් තොරව සැලකිය යුතුය. 1991 දී ශ්‍රී ලංකාවද එම ප්‍රඥප්තියට අත්සන් කළේය. හැඳි නොගා හදන හොද්දත් ගුටි නොදී හදන ළමයාත් කමකට නැති බවට මී හරක් කියමනක් මේ රටේ පවතී. මෙය වැඩවසම් සමාජයෙන් පැවත එන උරුමයකි. ළමයකුට අප පහරදෙන්නේ ඇයි? පෙරළා අපට පහරදීමට ඒ ළමයාට නොහැකි නිසාය. කරදඬු උස්වූ දරුවන්ට අත තැබීමට දෙමාපියෝ බිය වෙති. තාත්තා ගහන පහරින් කුපිත වී ආපසු හැරී පුතා පහර දුන්නොත් අවුරුදු 2500 ක සංස්කෘතික උරුමය කුඩු වී නන්නත්තාර වී යයි. කොලුවාට නැතිවෙන්නට දෙයක් නැත. එහෙත් නැති වෙන්නට බොහෝ දේ පියාට තිබේ. ඔහුගේ ආත්ම ගෞරවය, ආත්මාභිමානය, ඔහු තම ඥාතීන්ට පෙන්නන ෂෝ එක යන සියලු දේ කොලුවාගේ එක පහරින් කඩාකප්පල් වීමට ඉඩ තිබේ. අපේ සිංහල බෞද්ධ චින්තනයට අනුව මවට පියාට සහ වැඩිමහල් අයට බාලයකු විසින් අත ඔසවන ලද්දේද, එය ඉමහත් පාපයක් බවට පත්වෙයි. එබැවින් ඒ තත්ත්වයට නොඑන පරිදි කටයුතු කිරීමට දෙමාපියෝ වගබලාගත යුත්තාහ. මේ කතුවැකියේ මුලින්ම සඳහන් සිද්ධියට අදාළ දරුවන් දෙදෙනා උස්මහත් වූ ගැටවරයන් දෙදෙනකු නම් සිද්ධියට අදාළ මීහරක් පියා කවදාවත් ඔහුට පහරදෙන්නේ නැත. මන්ද ගැටවරයන් දෙදෙනා කවර ප්‍රති ප්‍රහාරයක් එල්ලකරනු ඇත්ද යන්න ගැන පෙරකී මීහරක් පියාට කොහොමටවත් තේරෙන්නේ නැත. එබැවින් වඩාත් යුක්ති සහගත කාරණය වන්නේ දරුවන් සහ දෙමාපියන් අතර ඇති ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමය. හැබැයි හුඟක් පොඩි එවුන්ට සාකච්ඡා මාර්ගික විසඳුම් නොතේරේ. ඔවුන්ට තේරෙන්නේ ආදරයේ භාෂාව පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment