බෝගල පතල, කහටගහ පතල සහ ‘පාතාල’ පතල

936

ගතවූ දවස් 90 ඇතුළතදී තුවක්කුවලින් වෙඩි තබා මිනිසුන් 22 දෙනකු මරා දමා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා තිබේ. ඔහු කියන පරිදි වෙඩි තැබීම් සිද්ධි 42 ක් මේ මාස තුන තුළ සිදුවී ඇත. එහෙත් වෙඩි වැදී ඇත්තේ 22 ට පමණි. එබැවින් තවත් 22 කගේ ජීවිත බේරිණි. කොටි සංවිධානයේ යුද්ධය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජයග්‍රහණය කරනු ලැබීමෙන් පසු මේ රටේ අපරාධ ටික කලකට යට ගියේය. ඉන්පසුව පාතාලය හිස එසවීමට පටන්ගත් අතර කුඩුකාරයෝද, කසිප්පුකාරයෝද, කොන්ත්‍රාත් මිනී මරුවෝද මහ දවල් මහ පාරවල් මැද එකිනෙකාට වෙඩි තබාගන්නට පටන් ගත්හ. එවිට ක්‍රියාත්මක වූ මේ රටේ ආරක්ෂක අංශ විසින් පාතාලය සම්පූර්ණයෙන්ම සමතලා කර දමන ලදී. එසේ සමතලා කරද්දී මරණයට පත්වූ ඇතැම් අපරාධකරුවකුගේ මළ සිරුර සුසාන භූමිය වෙත ගෙන යද්දී එම දේහය සහිත දෙණට හෙලිකොප්ටර් මගින් මල් ඉසිනු ලැබීය. සාමාන්‍යයෙන් මේ රටේ මිය ගිය රාජ්‍ය නායකයකුගේ දේහය සුසාන භූමියට ගෙන යෑමේදී පවා හෙලිකොප්ටර්වලින් මල් ඉසින්නේ නැත. එයට හේතුව, එවැනි කටයුත්තක් සඳහා රුපියල් ලක්ෂ 10 – 12 ත් අතර මුදලක් වැය වීමය. යහපාලන ආණ්ඩුව බලයට පත්වන අවස්ථාවේදී මේ රටේ පාතාලයක් තිබුණේම නැත. යම්කිසි ආකාරයක පාතාල තිබුණේ නම් ඒ බෝගල මිනිරන් පතල සහ කහටගහ මිනිරන් පතල පමණි. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පාරවල්වල සිටි ලක්ෂ සංඛ්‍යාත යුද හමුදා සෙබළුන් බැරැක්කවලට යැවීමට තීරණය විය. එය දේශපාලන තීන්දුවකි. රටක යුද්ධයක් නැති විට පාරවල්වල සන්නද්ධ සෙබළුන් රඳවා තබන්නේ නැත. පාරේ හමුදාව සිටින විට ජනතාව තුළ යුද මානසිකත්වයක් ඇති වේ. මේ කාරණා පදනම් කරගෙන හමුදාව බැරැක්කවලට යැවීමෙන් පසු නැවතත් පාතාල ක්‍රියාකාරකම් පටන් ගත්තේය. මේ රටේ දේශපාලනඥයන්ගෙන් 50% ට පමණ පාතාල සගයෝ සිටිති. මේ පාතාල සගයන් විසින් දේශපාලනඥයන් ආරක්ෂා කරන අතර පෙරළා දේශපාලනඥයන් විසින් පාතාල සගයන් ආරක්ෂා කරනු ලැබේ. මේ තත්ත්වය පදනම් කරගෙන පාතාලය නැවත වතාවක් ව්‍යාප්ත වීමට පටන් ගත්තේය. එවර පාතාලය මතුවන්නේ කලින් වතාවට වඩා විවිධාංගිකරණය වූ ස්වභාවයකිනි. කුඩ්ඩෝ වෙනමද, කොන්ත්‍රාත් මිනී මරුවෝ වෙනමද, කසිප්පු සහ කේරළ ගංජා ගෙන්වන කණ්ඩායම් වෙනමද, කප්පම්කාරයෝ වෙනමද රට තුළ පාතාල කල්ලි අටවා ගත්හ. උදාහරණයක් වශයෙන් කොළඹ බ්ලූමැන්ඩල් පාරේ කුණු කන්ද අසල ජීවත් වූ ප්‍රින්ස් කොලම් මැතිතුමාට වෙනම පාතාල කල්ලියක් තිබිණ. ඔහු කළේ කුණු කන්දට කුණු බෑමට එන ලොරි වලින් කප්පම් ගැනීමය. එය එක ලොරියකින් රුපියල් 5000 කි. දිනකට මෙවැනි ලොරි 500 ක් පමණ බ්ලූමැන්ඩල් කුණු කන්දට එයි. ප්‍රින්ස් කොලම් මැතිතුමා දෛනිකව ඉපැයූ මුදල කෙතරම් විශාලද යන්න මෙහිදී පැහැදිලි කරගත හැකිය. මේ මුදලේ විශාලත්වය නිසාම ප්‍රින්ස් කොලම්ට ලොකු ආරක්ෂක මැර හමුදාවක් විය. ඔවුහු කොලම්ගේ නිවස ආරක්ෂා කිරීමට පැය 24 පුරාම කැප වූහ. මේ අතර දිනක් රාත්‍රියේදී එම ගෙදර වැටලූ සන්නද්ධ පිරිසක් කොලම් ඇතුළු පිරිස සංහාරය කළහ. මේ රටේ පාතාල කතන්දරයේ ප්‍රින්ස් කොලම් පරිච්ඡේදය එසේ නිම වුවද ඒ තැනට දැන් අලුත් එකෙක් පත්වී තිබේ.

යහපාලන ආණ්ඩුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ පොහොට්ටු ආණ්ඩුව පත්වන විට මේ රටේ පාතාලය ප්‍රභාකරන්ගේ ඊළාම් ව්‍යාපාරය තරමටම පුළුල් වී තිබිණ. ඉන්දියාවෙන් වැල්වැටිතුරෙයිට එන බෝට්ටුවල විවිධ ගිනි අවි සහ දිග කඩු පටවා එවන ලදින් පිස්තෝලයක් හෝ අත් බෝම්බයක් විවෘත වෙළෙඳ පොළෙන් ගත හැකි තරමට තත්ත්වය දරුණු විය. එවර පොලිසිය පාතාලය මර්දනය කළේ ආයුධ පෙන්වන්නට යෑමෙනි. පාතාලකාරයෝ ආයුධ තිබෙන තැන් දැන සිටියහ. ඒවා පෙන්වීමට යෑමේදී ඔවුහු අවස්ථාව බලා පොලිසියට ගුටි දීමට තැත් කළහ. එවිට පොලිසිය ආත්මාරක්ෂාව පතා පාතාලකාරයන්ට වෙඩි තිබ්බාහ. එවිට ඔවුහු මිය ගියහ. මෙය එකම කතාවකි. ඒ කතාව තුළ අඩංගු ක්‍රමවේදය ඉතාම හොඳ විය. පාතාලකාරයා තමන්ට ගුටි දෙන විට එයින් ආරක්ෂා වීම සඳහා වෙඩි තැබීමට පොලිසියට සිදුවේ. මෙය හරිම සාධාරණ කතන්දරයකි. හැබැයි මේ ළඟකදී පටන් මේ කතන්දරය අපට නෑසේ. එයට හේතුව වන්නේ අවි පෙන්වීමට යෑම නීතියෙන් තහනම් කර දැමීමය.

ලංකාවේ පාතාලය මෙන්ම එහි සාමාජිකයන්ගේ නම්ද ඉතා කැතය. චොප්පේ, සොත්ති උපාලි, මෝර සුනිල් යනාදී වශයෙන් වූ පසුගිය ශත වර්ෂයේ සිටි පාතාල දාමරිකයන් අභිභවන හරක් කටා, වෙලේ සුදා, බූරු මූණා, තෙල් බාලා, කිඹුලා ඇලේ ගුණා යනාදී අසික්කිත නම් සහිත පාතාලකාරයෝ මේ ශත වර්ෂය තුළ මතු වූහ. ඒ අතර ලස්සන නම්ද තිබේ. කුඩු සලිඳු එයින් එකෙකි. සලිඳු නම ලස්සන වුවද කුඩු යන විශේෂණය මගින් ලස්සන නම විනාශයට පත්කර තිබේ. හරක් කටා සහ කුඩු සලිඳු බේරා ගැනීමට නීතිඥ ඇමැතිවරයකුත් ඔහුගේ පුත්‍රයා වූ නීතිඥයකුත් ලොකු ගේමක් ගහන බවට ආරංචියක් තිබේ. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල කුඩු වෙළෙන්දන් සහ ස්ත්‍රී දූෂකයන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටින්නේ නැත. එවැනි අය සඳහා පෙනී සිටින නීතිඥයන්ට වෙනම ගේම දීම පිණිස සමාජ ශෝධක කට්ටිය සෙට් වී සිටිති. දැනට පවතින පාතාලය ඉතා ඉක්මනින් බුල් ඩෝසර් කර නොදැමුවොත් තව අවුරුදු 20 ට පසු මේ රට ලෝකයේ ගැඹුරුම අගාධය වන මරියානා අගාධය හා සමාන සුවිශාල පාතාලයක් වීම නොවැළැක්විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment