බීමතින් රිය පදවා අනතුරක් කළැයි – සීඅයිඩීයේ හිටපු SDIG රවි රිමාන්ඩ්

288

වැල්ලවත්ත සමුද්‍රීය මාවතේදී පෙරේදා (28 දා) රාත්‍රියේ සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවි සෙනවිරත්න මහතා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (29 දා) නියෝග කළේය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ සෙනෙවිරත්න මහතා බීමතින් සිට ඇති බව ද වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙළිවී ඇත.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පැදවූ මෝටර් රථය සමුද්‍රීය මාවතේ මාර්ගය අසළ නතර කර තිබූ වැගන් ආර් වර්ගයේ රථයක ගැටී එය ඉදිරි පස නවතා තිබූ බස් රථයකද ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරුට ලක්වූ වැගන් ආර් රථයට බරපතළ හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් පසු අත්අඩංගුවට ගත් රවි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර ඇත. පසුව ඒ මහතා ඊයේ දහවල් ගල්කිස්ස මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

අනතුරක් වළක්වා නොගැනීම, බීමතින් රිය පැදවීම යන චෝදනා යටතේ ඒ මහතා ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත.

වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. මෙම අනතුරින් කිසිවකුටත් තුවාල සිදුවී නොමැත.
හේමන්ත රන්දුණු – චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment