හදිසි දොරටු නැති පිටකොටුවේ මාරක බිල්ඩින්

312

● ඇතුළට යන්න එන්න එක දොරයි
● හදිසියකදී ඒක වැසුනොත් ඔක්කොම සුන්
● සේවකයෝ රෑට ඇතුළට දමා වසා යන සාප්පුත් තිබෙනවා
● සමහරක ‘ගිනි ආරක්ෂණ’ ක්‍රමත් නැහැ

කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගොඩනැඟිලි රැසකම ගිනි ආරක්ෂණය සඳහා නිසි ක්‍රමවේදයක් නැතැයි කොළඹ ගිනි නිවීමේ හමුදාව සඳහන් කරයි.

මෙම තත්ත්වය මත හදිසි ගින්නකදී එම ගොඩනැඟිලිවල සිටින පුද්ගලයන්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ද පැවැසේ.

ඉකුත් 27 වැනිදා පිටකොටුව දෙවැනි හරස්වීදියේ පිහිටි සිව්මහල් ගොඩනැඟිල්ලක ඇති වූ ගින්නෙන් එහි සිටි සේවකයන් 22 ක් ඉවතට පැමිණීමට නොහැකිව ජීවිත අවදානමකට ලක්ව සිටියදී මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගත් බව ගිනි නිවන හමුදාව පවසයි.

ගින්න ඇතිවීම නිසා සිව් වන මහලේ සිටි මෙම පිරිසට පිටතට පැමිණීමට තිබූ එකම දොරටුවද විවෘත කර ගැනීමට නොහැකිවීමෙන් සියලු දෙනා දැඩි උණුසුමට සහ ගින්න නිසා ඇතිවූ දුම් ආඝ්‍රාහනයට ලක්වීමෙන් එක් ස්ථානයක එකිනෙකා පිට වැටී සිටි බව මෙම පිරිස බේරා ගැනීමට එක්වූ කොළඹ ගිනි නිවන හමුදාවේ නිලධාරියෙක් සඳහන් කළේය.

“මම ගොඩනැඟිල්ලට පිටතින් ගොස් සිව් වැනි මහළට ඇතුළු වූයේ එහි දොර අගුලු කඩා දමමින්. සිව්වැනි මහළට ඇතුළුවීමටත් පිටවීමටත් තිබුණේ එක දොරක් පමණයි. හදිසි අවස්ථාවකදී පිටවීමට කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කර නැහැ. තව සුළු මොහොතක් ගතවූවා නම් මේ සියලු දෙනාම මියයෑමට ඉඩ තිබුණා” යැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පිටකොටුව වෙළෙඳසල්වල සේවකයන් කිපිහ දෙනකු පැවසුවේ බොහෝ වෙළෙඳසල්වල සේවය කරන සේවකයන් රාත්‍රියට සිය වෙළෙඳසල්වලම නවාතැන් ගන්නා බවත් වෙළෙඳසල් හිමියන් ඔවුන් එහි සිටියදී පිටතින් දොර ඇගුළු දමා පිටව යන බවත්ය. පසුදින පැමිණ වෙළෙඳසල් විවෘත කරනතුරු මෙම සේවකයන් සිටින්නේ අනාරක්ෂිතව බවට ඔවුන් සඳහන් කළහ. කුඩා ඉඩ ප්‍රමාණයක නිසි වාතාස්‍රයක් නොමැතිව මෙම පිරිස් රැඳී සිටින බවත් බොහෝ දෙනෙකු වෙළෙඳසලේ සේවයට පැමිණි පසු ගොඩනැඟිල්ලෙන් පිටතට යන්නේ නිවාඩු ලැබ නිවෙස් බලා යන දිනයේදී බවත් ඔවුහු කියා සිටියහ. එනිසා මෙහි සිටින බොහෝ සේවකයන් හදිසි අවස්ථාවකදී ගොඩනැඟිල්ලෙන් පිටතට යන්නේ කෙසේ දැයි කියා නොදන්නා බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment