වැඩි ඡන්ද 42කින් කතානායක විශ්වාසය දිනා ගනී

136

පක්ෂව 75යි විරුද්ධව 117යි

බන්දුල, පවිත්‍රා, හරින් ඇතුළු රට ගිය 6ක් ඡන්දයට යළි එති

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) සවස පරාජයට පත් විය.

එම යෝජනාවට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරු 75දෙනෙක් ද යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරු 117 දෙනෙක් ද ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය දීමෙන් වැළකී සිටි කිසිදු මන්ත්‍රීවරයෙක් නොවීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය අනෙකුත් විපක්ෂයේ පක්ෂ කිහිපයක් සමඟ එක්ව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 19,20,21 ලෙස දින තුනක් පැවැත්විණි.

විවාදය අවසානයේ ඊයේ සවස 4.40ට පමණ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ආරම්භ කරනු ලැබීය. එහිදී විපක්ෂයේ පක්ෂ යෝජනාවට පක්ෂව ද ආණ්ඩු පාර්ශ්වය යෝජනාවට විරුද්ධව ද ඡන්දය ප්‍රකාශ කළහ.

විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්වූ පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායක අසුනට දින තුනකට පසුව පැමිණි අතර එහිදී ඔහු විශ්වාසභංගය ගෙන ඒමට තුඩුදුන් කාරණා සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් ද සිදු කළේය.

මේ අතර විශ්වාසභංග යෝජනාවට ඡන්දය ලබාදීම සඳහා පවිත්‍රා වන්නිආරච්චි, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, බන්ධුල ගුණවර්ධන, අනුර ප්‍රියදර්ශන යාපා, මධුර විතානගේ යන මැති ඇමැතිවරුන් සිය විදේශ සංචාර අතරමඟ නවත්වා පැමිණ තිබූ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment