පාස්කු විවාදයට මිලියන 150ක් වැය වුණා – පාස්කු සිද්ධිය දේශපාලනීකරණය කරන්න එපා කියා අගරදගුරුතුමාගෙන් ඉල්ලනවා – මහින්දානන්ද අලුත්ගමගේ

134

පාස්කු විමර්ශනවලට ජාත්‍යන්තර දායකත්වයක් ඕනෑ – ජී.එල්. පීරිස්

දැන් ආරක්ෂක ඉහළ පුටුවල ඉන්නේ මේක වහන්න හදපු අය – රංජිත් මද්දුම බණ්ඩාර

2019 අප්‍රේල් 21 වැනිදා සිදුවුණු මේ පාස්කු ප්‍රහාරය ගැන මේ වනවිට පාර්ලිමේන්තුවේ දින 14ක් අපි පැය 76ක් විවාද කරලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ගණන් බැලුවොත් රුපියල් මිලියන 150ක් රජය වැයකරලා තිබෙනවා පාර්ලිමේන්තුවේ මේ විවාදය සඳහා. මේ සිද්ධිය පදනම් කරගෙන අගරදගුරුතුමා ඇතුළු කතෝලික සභාව විශාල මතයක් රටේ ජනගත කරන්න හදනවා. අපි මතක් කරන්න ඕනෑ මේක රටේ සිදුවූ පළමුවැනි ආගමික ප්‍රහාරය නෙමෙයි. මහනුවර දළදා මාලිගාවට, ශ්‍රී මහ බෝධීන්වහන්සේට බෝම්බ ගැහුවාම අපි බෞද්ධයෝ විදියට කොයි තරම් වේදනාවට පත්වුණාද? හැබැයි අපි කොමිෂන් ඉල්ලුවාද? ඒ නිසා අපි අගරදගුරුතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ සිදුවීම දේශපාලනීකරණය කරන්න හදන්න එපා කියලා යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජාත්‍යන්තර දායකත්වයක් ලබා ගැනීම අවශ්‍යයි. ඒ වගේම ස්ථීර විමර්ශන කාර්යාලයක් අවශ්‍යයි. ඒකට ස්කොට්ලන්ඩ්යාඩ් වැනි ලෝකයම පිළිගත් විමර්ශන ආයතනයකින් තාක්ෂණික සහයෝගයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ පත්කරන යන්ත්‍රණයට තිබෙන්න ඕනෑ ඉතා පුළුල් විෂය පථයක්. මීට කලින් මොන කොමිෂන් පත් කළත් අලුතෙන් පත්කරන යාන්ත්‍රණයට ඊට වඩා පුළුල් අංග සම්පූර්ණ විමර්ශනයක් කිරීමට අවශ්‍ය බලතල තිබෙන්න ඕනෑ. ජාතික පොලිස් කොමිසමට, නීතිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමට එම යාන්ත්‍රණයට බලය තිබිය යුතුයි.

(සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා

පාස්කු ප්‍රහාරය තනිකරම කුමන්ත්‍රණයක්. මේකෙන් ඕනෑ වුණේ කතෝලික ජනතාවගේ ඡන්දය නවත්වන්න. අවුරුදු 5ක් ගතවෙලත් මේ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ ජනතාවට සාධාරණයක් වෙලා නැහැ. ආණ්ඩුව මේක හංගනවා. දැන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල ඉන්නේ මේක වහන්න හදපු අය. කුමන්ත්‍රණ කාරයන්ට ජනතාවගේ ශාපය හිමි වුණා. ඒ නිසා තමයි ඒ අයට ආණ්ඩුව නැති වුණේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment