හරක්කටාගේ-සලිඳුගේ ෆෝන් පාස්පෝර්ට් මිසින්

521

රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් බව කියන හරක් කටාට අයත් ජංගම දුරකථන දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක් හා කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබියදී අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එබැවින් ඒවා සෙවීම සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ මාර්තු 15 වැනි දා එම දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු භාරයේ තිබී ඇත.

සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව, එම ජංගම දුරකථන සහ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත භාරදී තිබී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මෙම ජංගම දුරකථන දෙක සහ විදේශ ගමන් බලපත්‍ර දෙක අස්ථානගත වූයේ කුමන දිනයක ද යන්න හෙළිවී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම දුරකථනවල සංවේදී දර්ශන, විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජංගම දුරකථන අංක ආදී වැදගත් තොරතුරු රැසක්ම තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment