ලංවීම කඩන යෝජනාව කැබිනට්ටුවට

151

ලංකා විදුලිබල මණ්ඩලය මූලික වශයෙන් සමාගම දහහතරකට කඩා එය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඇතුළත් පත්‍රිකාව මෙම සතියේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

ඒ අනුව විදුලිබල මණ්ඩලය විදුලි ජනනය, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් යන අංශ තුන සඳහා නව සමාගම් දාහතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිහිටුවීමට යෝජනා කර ඇතැයි විදුලිබල මණ්ඩල ප්‍රකාශකයකු සඳහන් කළේය.

ඒ අනුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය, අනෙකුත් ජල විදුලි බලාගාර පවා සමාගම් යටතට පවරනු ඇතැයි ඉංජිනේරුවෝ කියා සිටිති.

මීට අමතරව විදුලිය බෙදාහැරීමට දැනට පිහිටුවා තිබෙන ලෙකො සමාගමට අමතරව තවත් සමාගම් හතරක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. එම සමාගම් බොහෝ විට ඉන්දියානු සමාගම් වෙත ලබාදීම සැලසුම වී ඇතැයි ද ඔවුහු කියා සිටිති.

විදුලි සම්ප්‍රේෂණ සඳහා එක් සමාගමක් හෝ තවත් සමාගම් එක්කර ගනු ඇතැයි ද ඔවුහු විශ්වාසය පළකර සිටිති.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසිදෙදහසක් පමණ සේවය කරන අතර රට බංකොලොත් වූ පසු ලංවිම සේවකයන් හාරදහසක් පමණ විදේශ රැකියා සඳහා ගිය බව වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

විදුලිබල මණ්ඩලය පිහිටුවා ලබන 01 වැනිදාට වසර පනස්හතරක් පිරෙන බවත්, මණ්ඩලය කෑලි කෑලිවලට කඩා විදෙස් සමාගම්වලට විකිණීමට යන බවත් ඔවුහු පැවසූහ.

ඒ අනුව ලබන 01 වැනිදා ලංවිම සේවකයන් ලෙඩ නිවාඩු දමා කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන බව වෘත්තීය සමිති කියා සිටිති. ලංවිම විකිණීම, සේවක වැටුප්, දීමනා කපා හැරීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පවත්වන බව ද වෘත්තීය සමිති නායකයෝ තවදුරටත් කියා සිටියහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment