ජනාධිපතිවරණය කල්දාන්න හැදුවොත් ආණ්ඩුව එළවන්න කාන්තාවෝ පෙරමුණ ගන්නවා

106

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

කාන්තාවන් යනු නිකම්ම නිකම් ඡන්දය දෙන පිරිසක් නොව ආණ්ඩු හදන ඒ ආණ්ඩුත් එක්ක එකතු වී රට ගොඩනඟන ගෞරවණීය පිරිසක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ ඉකුත් 17 වැනිදා පැවැති ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් කාන්තා සමුළුව – අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මෙසේද කීවේය.

අපේ රටේ වසර 76ක සාපය නිමාකිරීම වෙනුවෙන් සමස්ත බලවේග එකතුකරමින් යන අතරේ ජාතික ජන බලවේගය ඓතිහාසිකව කාන්තාවන් බලවේගයක් ලෙස එකතු කර ගත්තා. කාන්තාව නිකම්ම නිකම් ඡන්දය දෙන පිරිසක් නොවෙයි, ආණ්ඩු හදන ඒ ආණ්ඩුත් එක්ක එකතු වී රට ගොඩනඟන ගෞරවණීය පිරිසක් විදිහට එකතු වෙමින් සිටිනවා. ඔවුන් ඓතිහාසික බලවේගයක් ලෙස දැන් ක්‍රියාකරමින් ඉන්නවා. තව මාස අටකින් විතර අපේ යුගය නිර්මාණය වීමේ ආරම්භක ජනාධිපතිවරණය පැමිණෙනවා. ජනාධිපතිවරණය කල්දාන්න වංගු ගහන්න බැහැ. එහෙම වංගු ගහන්න කවුරු ඉඩ දුන්නත් අපි ඉඩ නොදෙන බව සහතික කර කියනවා. වංගු ගහන්න ආවොත් පාරට බැහැලා ඒගොල්ලන්ව එලවා දාන්න කාන්තාවන් එක මිටට පෙරමුණ ගන්නා බව සහතිකයි.

පාර්ලිමේන්තු සැසිවාරය කල්තියලා කථා නායක පුටුවේ වාඩිවෙලා කතා කරන්න රනිල් වික්‍රමසිංහ ආසයි. පාර්ලිමේන්තුව අමතා කීවේ 2048 දී රට ගොඩනඟන්න අවස්ථාව දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ගෝලයෙක් වන වජිර අබේවර්ධන කීවා 2048දී රට හැදිලා, යුරෝපයේ සුදු කාන්තාවෝ මෙහෙ ගෘහ සේවයට එන බව. ඉඩම් ඔප්පු දෙන්නම් කියලා රට වටේම ඉන්න අය දඹුල්ලට එකතු කළේත් ජනාධිපතිවරණයට එන්නයි. මාතලේ දිස්ත්‍රික්කයේ සහෝදරියන් දහස් ගණනක් මේ ඇවිත් ඉන්නේ ඔප්පු ගන්න නොවෙයි. රට වට්ටපු උන් එළවලා රට ගොඩනඟන්න ලැහැස්තියි කියන පණිවිඩය දෙන්නයි මේ ඇවිත් ඉන්නේ.

මුදල් වෙනුවෙන් දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. කාන්තාවන්ට ගරු කිරීමක් නැතිව අපරාධ කරන රටක් තිබෙන්නේ එකිනෙකාට ගරු නොකරන අපි කාටවත් ජීවත් වෙන්න නොහැකි සමාජයක් මේ තිබෙන්නේ. භාෂා අතර ගැටුම්, ආගම් අතර ගැටුම්, අඳින ඇඳුම් අතර තිබෙන ගැටුම් වෙනුවට සහකම්පනයක් මනුෂ්‍යත්වයක් තිබෙන රටක් අපට ඕනෑ.

අපි ඉදිරියේ තිබෙන්නේ ලොකු වැඩක්. හැම දෙයක්ම නැවත ප්‍රතිනිර්මාණය කරන්න ජාතික ජනබලවේගය නිර්මාණය කර තිබෙනවා. තමන්ට පෞද්ගලිකව කිසිවක් බලාපොරොත්තු නොවී ස්වේච්ඡාවෙන් වැඩකරන මහා දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. මේ දක්වා බලයේ සිටි අය ඡන්දය ගත්තෙත් අනිත් පැත්තට පැන්නෙත් ඇමැතිකම් ගන්න. මේ තත්ත්වය වෙනස් කරන්න ගැහැනුන් එක මිටට බලය ගන්නත් පෙර එකතු වී මේ විදිහට සංවිධානය වෙනවා නම්, බලය අරගෙන රට හදන්න නායකත්වය දෙන විශාල පිරිසක් මේ වේදිකාවේ ඉන්නවා. මේ දක්වා බලය ගත්ත කණ්ඩායම් ජනතාවට කැපකිරීම් කරන්න කියලා ඔවුන් සොරකම් කළා. ඒ පැරණි දේශපාලනය සම්පූර්ණයෙන් වෙනස් කරන්න මේ සියලු දෙනාම ලැහැස්තියි. ගුරුවරියන්ට දරුවන්ටත් ගමේ ඉන්න කාන්තාවන්ට සමාජයටත් මෙතෙක් පැමිණි වැරදි, විනාශකාරී මාවත ගැන කරුණු පැහැදිලි කර දිය හැකියි. වසර 76ක ඉතිහාසය වෙනස් කර, අලුතින් ලියන්න පටන් ගන්නේ මේ අවුරුද්දේදි.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

රට පුරාම ගැහැනුන් අවදි වීමත් සංවිධානය වීමත් අපි දකිනවා. එය විශිෂ්ටයි. සති ගණන් මාස ගණන් ගෙයින් ගෙට ගොස් ඔබ සියලු දෙනා සමග සංවාද කර ඇතිවුණු පිබිදීමත් සංවිධානය වීමක් මුළු රට පුරාම තිබෙනවා. ගැහැනු අපි එක මිටට කියන තේමාවෙන් ජාතික ජනබලවේගය වටා එකතු වීමයි තිබෙන විශිෂ්ටත්වය. මේ රටට අවශ්‍ය පරිවර්තනයේ නායකත්වය ඔබ සියලු දෙනා ගන්නා බවයි මේ පෙන්නුම් කරන්නේ.

මීළඟට ජනාධිපති වෙන්නේ අනුර දිසානායක සහෝදරයා බව සමාජය පිළිඅරගෙන අවසන්. මීළඟ ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බව සමාජය පිළිගෙන අවසන්. එතැනින් එහා නිදහස් සමාජයක්, ගැහැනුන්ට නිදහසේ ඉන්න පුළුවන් රටක් බිහිකිරීමේ වගකීම අපි සියලු දෙනාටම තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment