ඇඟලුම් ව්‍යාපාරයක මුවාවෙන් ඇඹිලිපිටියේ  අම්මයි පුතයි කුඩු ජාවාරමේ!

453

කෝටි 50ක මත්කුඩු තොගයක් සමග දෙදෙනාම මාට්ටු!

රුපියල් කෝටි 50 කට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු කිලෝග්‍රෑම් 38 යි මිලි ග්‍රෑම් 360ක් සමඟ මවක සහ පුත්‍රයකු ඇඹිලිපිටිය නගරයේදී අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය පෙරේදා (11දා) සමත් විය.

මෙම මත්කුඩු ජාවාරම දකුණු පළාතේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවකු විසින් මෙහෙයවා ඇති බවත් ඔහු දැනට ඩුබායි හි සැඟවී සිටින බව හෙළි වූ බවත් පොලිසිය කියයි. මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගනීමට පොලීසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

46 හැවිරිදි මව හා 22 හැවිරිදි පුත්‍රයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම මත්කුඩු ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයි හෙළි වූ බවද ඇඹිලිපිටිය පොලිස් ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලම මත්කුඩු තොගය මෙය බවද පොලීසිය පවසයි.

මෙම මව හා පුත්‍රයා කාලයක සිට මෙම මත්කුඩු විවිධ ප්‍රදේශවලට බෙදාහැර ඇතැයි හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට මත්ද්‍රව්‍ය නාශක කාර්්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹින් ඇඹිලිපිටිය බලා පිටත්ව ගොස් තිබේ.

ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක තිලක් රත්නායක මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.

හේමන්ත රන්දුණු සහ කුට්ටිගල සේන පී. ගමගේ, ඕමල්පේ – ප්‍රගීත් ජනක

advertistmentadvertistment
advertistmentadvertistment