කඳුළු සලන දේව මාතා පිළිරූ හමු වුණේ හැටන්වලින් විතරක් නොවේ

137

හැටන් නගරයේ ඇති පැරණිතම, ප්‍රධානතම සේම කීර්තිමත්ම කතෝලික දේවස්ථානය ලෙස ප්‍රකට ශ්‍රී කුරුස දේවස්ථානයේ ඇති දෙනෙතින් කඳුළු ගලන ශුද්ධ වූ මරියතුමියගේ හෙවත් දේව මෑණියන්ගේ ප්‍රතිමාවක් පිළිබඳව ජනමාධ්‍ය මගින් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ඒ අනුව ඉකුත් 10 වැනි දා සිට එම ආශ්චර්යමත් ප්‍රතිමාව දැක බලා ගැනීමට වැඳුම් පිදුම් කිරීමට විශාල පිරිස් ඒ දේවස්ථානය වෙත ඇදෙමින් සිටින බව වාර්තා වෙයි. අඩියක පමණ උසින් යුතු ඒ ශුද්ධ වූ මරියතුමියගේ ප්‍රතිමාව ඒ දේවස්ථානයට ලැබීම පිළිබඳ කතා පුවත සැකෙවින් මෙසේ ය.

එම ප්‍රතිමාව හැටන් කුඩාගම ප්‍රදේශයේ කිතුණු බැතිමතකුගේ නිවසේ වන්දනා මානවලට ලක් වූවකි. එහෙත්, හිටි හැටියේ එම ප්‍රතිමාවේ වම් ඇසින් රත් පැහැති යම් දියරයක් පහළට වැගිරෙන අයුරු එහි හිමිකරු දැක තිබේ. ඇදහිය නොහැකි එම සිදුවීම මුල් කොට එය තවදුරටත් තම නිවසේ තබා ගැනීම නුසුදුසු බව වටහා ගත් එහි හිමිකරු එය පසුගිය දහ වන දා අලුයම හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය වෙත ගෙනවුත් එහි මීසම් පාලක පියතුමන් වෙත භාර දී තිබේ. පසුව පියතුමන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට ඇත්තේ එම ප්‍රතිමාව දේවස්ථානය වෙත රැගෙන එන විට එහි වම් ඇසේ සිට රත් පැහැති දියරයක් පහළට වැගිරුණු බව සනාථ කෙරෙන තෙත් බවක් දක්නට ලැබුණු බවය. මේ වන විට ඒ තෙත් බව වියළී ගොස් ඇති බව ද පියතුමා ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් මූලිකවම කිව හැක්කේ එහි හිමිකරුගේ ප්‍රකාශය හැරුණු කොට එම ප්‍රතිමාවේ වම් ඇසින් රතු පැහැති දියරයක් පහලට ගලා ඒම සියැසින් දුටු අන් කිසිවකුගේ සාක්ෂියක් නොමැති බවකි. එහෙත්, මෙම පුවත ජනමාධ්‍යකරුවන් වඩාත් “ඔප මට්ටම්” කොට එය ශුද්ධ වූ මරියතුමිය ගේ ප්‍රතිමාවේ දෙනෙතින් කඳුළු වැගිරීමක් ලෙස ඉදිරිපත් කොට තිබේ. ඒ අනුව වම් ඇසෙන් පමණක් යම් රත් පැහැයෙන් යුතු දියරයක් පහලට වෑස්සී ඇති පුවතට දෙනෙතින් යන සාවද්‍ය ආරෝපණයක් ලබා දුන් මාධ්‍යකරුවන් එම රත් පැහැති දියරය කඳුළු ලෙස ද නම් කිරීම ද අපගේ විශේෂ අවධානයට ලක් විය යුතුය. මක් නිසාද? යත් කඳුළු කවර ලෙසකින් වත් රත් පැහැයක් නොගන්නා බැවිනි.

මේ ආකාරයෙන් රත් හෝ සුදු පැහැති යම් දියර නෙතුවලින් වැගිරෙන ශුද්ධ වූ මරියතුමිය ගේ ප්‍රතිමා සම්බන්ධ දිගු ඉතිහාසයක් තිබේ. ඒවා ලොව පුරා හැඳින්වනුයේ වැලපුම් ප්‍රතිමා (Weeping statues) යන නමිනි. නමුත් එම සිදුවීම් දාමය පිළිබඳව හෙළි කිරීමට පෙර මරිය මව්තුමී, සන්තානම් මෑණියෝ (Saint mother) කන්නි මරියා ආදී නම් වලින් හැඳින්වෙන ජේසුස් වහන්සේ ගේ මව් තුමිය වන එතුමිය හා වැලපීම අතර පවත්නා සහසම්බන්ධතාව ද විස්තර කළ යුතු ය.

මිනිසත් වග පාපයෙන් මුදා ගැනීම පිණිස වයස අවුරුදු තිස් දෙකේ දී පමණ කුරුසයේ වධයට ලක් වූ ජේසුස් වහන්සේ ගේ දේහය ඇකයේ හොවාගත් එතුමන් ගේ මව් තුමිය වන ශුද්ධ වූ මරියතුමිය දරු දුක වාවාගත නොහැකිව හඬා වැලපීමේ කිතුණු හා කිතුණු නොවන සැමගේ හදවත් පාරවන පුවතකි. මහනුවර රජ කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු සමයේ ඉන්දියාවෙන් මෙරටට සපැමිණ මෙරට කතෝලික දහම ව්‍යාප්ත කිරීමේ ලා පුරෝගාමී වූ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් ප්‍රබන්ධය කළ ශෝකී ස්වරයෙන් ගැයෙන දුක්ප්‍රාප්ති ගායනා අද ද කතෝලික ජන සමාජයේ භාවිතයට ගැනෙයි. ඒ අනුව ශුද්ධ වූ මරියතුමිය හා වැලපීම අතර ඇති සම්බන්ධය සුළු පටු නැත.

මෙම තත්ත්වය අප සමාජයට සේම කතෝලික දහම ව්‍යාප්ත වූ සෑම සමාජයකටම එක සේ පොදු බවට මෙලෙස කඳුළු සළන බවට වරින් වර ප්‍රචලිත වන ශුද්ධ මරිය තුමිය ගේ වැලපුම් ප්‍රතිමාවලින් පෙනේ. නමුදු මෙම ප්‍රතිමා මෙලෙස වැලපුම් ලක්ෂණ පළ කිරීමේ දී ඒවායේ ආගමික සහ ඓතිහාසික වැදගත්කම සහ ඒවා ස්ථාපිත කොට ඇති සිද්ධස්ථාන, දේවස්ථාන ආදියේ වැදගත්කම වැදගත් සාධකයක් නොවීම විශේෂත්වයකි. ඉහත සඳහන් සිදුවීම හා සම්බන්ධ ශුද්ධ වූ මරියතුමිය ගේ ප්‍රතිමාව තිබී ඇත්තේ ද හැටන්, කුඩාගම ප්‍රදේශයේ කිතුණු බැතිමතකුගේ නිවසේ ය. ඒ අනුව එය වෙළඳ සලකින් මිලට ගත් එකක් බවට සැක නැත.

මෙහි දී මේ හා සමාන සිදුවීම් බෞද්ධ ජන සමාජය තුළින් ද ඉස්මතු වන බවට ආසන්නතම නිදසුන් දෙකක් මගේ මතකයට නැගේ. ඉන් පළමු වැන්න අනුරාධපුර රුවන්මැලි සෑ දාගැබ තුළ තැන්පත් කොට ඇති බවක් පැවසෙන සර්වඥ ධාතුන් සියල්ල සෘද්ධි බලයෙන් තම නිවසට වැඩම කොට ඇතැයි අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ කාන්තාවක පවසා සිටීමත් සමඟ ඒවා සියැසින් දැක ගැනීමට ඇති සුවිශේෂ අවස්ථාව මුල් කොට බැතිමතුන් වැල නොකැඩී එහි යෑමට පටන් ගැනීමත් ය. මහනුවර දළදා මාලිගාවේ වැඩසිටින දළදා වහන්සේ මතු දිනයෙක තම නිවසට වැඩම කිරීමට කැමැත්ත පළ කොට ඇති බව දිව්‍යමය සන්නිවේදන ක්‍රමයකින් තමන්ට දැනගැනීමට ලැබුණු බව කී පොතුහැර ප්‍රදේශයේ ඖෂධ නොමැතිව රෝග සුව කරන්නකු ඒ වැඩමවීම උදෙසා අති විශාල මුදලක් වැය කොට තම නිවස ඉදිරියේ මහනුවර දළදා මාලිගාවේ ආකෘතියේ ඉදිකිරීමක් ඇරඹීම ඒ හා සම්බන්ධ දෙවන සිදුවීම ය. එහෙත්, ඒ පුවත කනවැකුණු ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන මර්වින් සිල්වා තම සහචරයින් කිහිප දෙනකු ද සමඟ එහි ගොස් ඒ තැනැත්තාට කළ තරවටුව හමුවේ ඊට පසුදාම ඒ අනුකාරක දළදා මැඳුර කඩා ඉවත් කිරීමට හෙතෙම පොරොන්දු විය. ඒ තමන්ට ඒ දිව්‍යමය පණිවිඩය දුන් දෙවියන්ටත් වඩා මර්වින් සිල්වා බලවතකු බව අනියමින් තහවුරු කරමිනි. නමුදු ඉහත සඳහන් ශුද්ධ වූ මරිය ප්‍රතිමාවේ සිදුවීම සහ මෙම සිදුවීම් දෙක එකට ගැලපීමට මා තුළ අදහසක් නැත.

ශුද්ධ වූ මරියතුමිය ගේ මුල්ම වැලපුම් ප්‍රතිමාව සම්බන්ධ සිද්ධිය අනාවරණය වී ඇත්තේ 1643 වසරේ ජර්මනියේ රොට්වෙයිල් නගරයෙනි. එය කඳුළු වැගිරීමට සේම ඇසි පිය හෙළීමට සමත් ප්‍රතිමාවක් බව ද එවක ප්‍රකට විය. එම වසරේ ප්‍රංශ හමුදා රොට්වෙයිල් නගරය ආක්‍රමණය කිරීමත් සමඟ එම කඳුළු සැලීමට අමතරව ප්‍රතිමාව සුදුමැලි වී එහි දෙනෙත් යාඥා ස්වරූපයෙන් අහස දෙසට යොමු ව තිබූ බව එවක ප්‍රකට විය. ඒ අතරේ නගරය වැටලූ ප්‍රංශ හමුදාවට සාර්ථකව මුහුණ දුන් ජර්මන් බැවේරියානු සේනාංක ප්‍රංශ හමුදා පලවා හරින ලද්දේ ශුද්ධ මරියතුමියගේ අපේක්ෂාව වෙනුවෙන් තම ජීවිත ද කැප කරමිනි. කෙසේ හෝ එවර රොට්වෙයිල් නගරය සතුරන් අතට පත් නොවීම මරියතුමිය ගේ හාස්කමක් බව පසුව ප්‍රචලිත විය.

ඒ කෙසේ හෝ විවිධ භෞතික පදාර්ථයන් ගෙන් සැදුම් ලත් ශුද්ධ වූ මරියතුමිය ගේ ප්‍රතිමාවන් ගේ දෙනෙත්වලින් මෙලෙස කඳුළු හෝ රුධිරය පිටවන බවක් පිළිගැනීම සම්බන්ධයෙන් වතිකානුව කිසියම් උපේක්ෂා සහගත ස්ථාවරයක් දැරූ බව පැහැදිලි ය. එය දෙවියන් වහන්සේ පිළිබඳව ජනතාව තුළ පවත්නා විශ්වාසය පෙරදැරි කර ගත් ජන වන්දනා (Liturgy) ආකෘතියට අයත් වූවක් බැවින් වතිකානුව මෙසේ ඒ සම්බන්ධයෙන් සහනශීලී ආකල්ප දරන්නට ඇතැයි මට සිතේ.

එහෙත්, මෙවන් වැලපුම් ප්‍රතිමා මුල්කොට විවිධ අරමුණු තකා ජනතාව නොමඟ යැවුණු අවස්ථා ගණනාවක්ම මෑත ඉතිහාසයට එක්ව ඇති බවද කිව යුතු ය. ජපානයේ අකිටාහි අප ස්වාමිදූගේ දැවමය ප්‍රතිමාවෙන් කඳුළු ගැලීමේ සිද්ධියක් මුල් කොට 1973 වසරේ එය ජාත්‍යන්තර අවධානයට ලක් විය. එහෙත් පසුව අනාවරණය වූ අන්දමට එය එක් රූපවාහිනී ආයතනයක් මගින් තම ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා යොදා ගත් ව්‍යංගාත්මක උපාය මාර්ගයකි. එවැනි උපාය මාර්ග අප රටේ ද නිරතුරුව අත්හදා බැලෙයි. නමුත් ඒ කඳුළු ගැලීමේ මවාපෑම පසෙක තිබිය දී අද ද එය සුවහසක් ජනතාවගේ බැති පුදවලට ලක්වන ප්‍රතිමාවකි. මේ අතර 1980 ඉතාලියේ පාවියා හි මෙබඳු ශුද්ධ වූ මරියතුමිය ගේ වැලපුම් ප්‍රතිමාවක් පිළිබඳව සුවිසල් ප්‍රසිද්ධියක් හිමිව තිබූ අතර පසුව එය එම ප්‍රතිමාවේ හිමිකරු විසින් වතුර විදින තුවක්කුවක් යොදා ගෙන සියුම් ලෙස කරනු ලැබූ ඇටවුමක් බව අනාවරණය විය.

මේ අතර කැනඩාවේ මොන්ටි්‍රයල් හි ඇතැයි පැවසෙන මෙබඳු වැලපුම් ප්‍රතිමාවක් පිළිබඳව කරන ලද විමසුමක දී අනාවරණය වූයේ එහි හිමිකරු විසින් රුධිරය සහ රැවුල බෑමේ ක්‍රීම් සුසංයෝග කොට එම කඳුළු කෘත්‍රිමව නඟා ඇති බවකි. මෙම සිද්ධිය වාර්තා වූයේ 1985 වසරේ ය.

එමෙන්ම 2002 වසරේ සිසිලියේ මෙසීනා ප්‍රිටෙල්සිගා හි රුධිරය මුසු කඳුළු වගුරන ශුද්ධ වූ මරියතුමිය ගේ ප්‍රතිමාවක් පිළිබඳව ආරංචි පැතිර ගිය ද එය වෙනයම් සංවිධානාත්මක ජාලයක ක්‍රියාකාරකමක් බව පසුව අනාවරණය විය. එමෙන්ම 2008 වසරේ උතුරු ඉතාලියේ ද මෙබඳු වැලපුම් ප්‍රතිමාවක නෙතින් ගැලූ ශ්‍රාවය විද්‍යාත්මක පරීක්ෂාවකට ලක් කිරීමේ දී එය සැබෑ මිනිස් රුධිරය ලෙස හඳුනා ගන්නා ලදි.

මෙවන් ශුද්ධ වූ මරියතුමියගේ වැලපුම් ප්‍රතිමා පිළිබඳ ආසන්නතම සිදුවීමක් වනුයේ නිව් මැක්සිකෝවෙනි. එහි ග්වාඩලුයේ අප ස්වාමි දූ කතෝලික දේවස්ථානයෙන් වාර්තා වූ එම සිද්ධිය සම්බන්ධයෙන් එම වසරේ ජූලි මාසයේ විමසුමක් කළ එහි ක්වෙරේටාරෝ රදගුරු පදවිය විසින් එම කඳුළු රෝස වතුර සහ ඔලිව් තෙල් සුසංයෝගයක් බව අනාවරණය කරන ලදි.

මෙහි දැක්වෙන සත්‍ය සිදුවීම් දාමය අතරට එක් වූ දෙනෙතින් කඳුළු සළන බවට මාධ්‍ය මගින් ප්‍රචලිත වූ එක් නෙතකින් රතු පැහැති දියරයක් වැගිරී ඇති බවට සලකුණු පමණක් දක්නට ලැබෙන හැටන් හි ශුද්ධ වූ මරියතුමිය ගේ ප්‍රතිමාව සම්බන්ධ කිසිදු අදහසක් පළ නොකරන අපි ශුද්ධ වූ මරියතුමිය ගේ හෙවත් දේව මෑණියන් සම්බන්ධ පූජනීයත්වය හා වැලපුම් ප්‍රතිමා සංසිද්ධීන් කෙසේ නම් ගැලපිය හැකි ද? යන්න විමසීම බුද්ධිමත් සැමගේ වගකීමක් බව පමණක් සටහන් කොට නිහඬ වෙමු.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment