‘ක්‍රිප්ටෝ රජු’ වසර 25ක් හිරගෙට

3938

ඇමෙරිකන් බිලියනපති වූ ව්‍යාපාරික, සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඞ් ට වසර 25 ක සිරදඬුවමක් නියම විය. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණය හමුවේ වරදකරු වීමෙනි.

31 හැවිරිදි සෑම් බෑන්ක්මන් ‘ක්‍රිප්ටෝ රජු’ ලෙස ද හැඳින්වෙයි. ‘ක්‍රිප්ටෝ කරන්සි’ ඩිජිටල් මුදල් ගනුදෙනු හරහා සෑම් බෑන්ක්මන් සිය සේවාදායකයන්ගෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වංචා කළේ යැයි එල්ල වූ චෝදනාවට සෑම් බෑන්ක්මන් වරදකරු විය.

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සෑම් බෑන්ක්මන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය 2022 දීය. ඒ සමඟම ඔහුගේ ඩොලර් බිලියන තිස් දෙකක ‘එෆ්.ටී.එක්ස් සමාගම ද බංකොලොත් විය. සෑම් බෑන්ක්මන්, ‘එෆ්.ටී.එක්ස්’ සමාගම ආරම්භ කළේ 2019 වසරේදීය. ‘එෆ්.ටී.එක්ස්’ සමාගම නියාමනයට ලක් නොවුණු බැංකුවක් ලෙස ක්‍රියාත්මක විය.

‘එෆ්.ටී.එක්ස්’ සමාගම, ක්‍රිප්ටෝ මුදල් පමණක් නොව, බිට්කොයින් මුදල් ද ඔවුන්ගේ අරමුදල් යටතේ සුරක්ෂිතව තබා ගත්තේය. මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සිදු වූයේ එම කටයුතුවලට මුවා වෙමින් යැයි විමර්ශනවලදී අනාවරණය විය. ඇමරිකන් ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවට සම්බන්ධ තැනැත්තා ලෙස ද සෑම් බෑන්ක්මන් සැලකෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment