ලිංගික හිංසන සොයන්න බසයට ගොඩවූ පොලිස් උපාය දූතියටත් හිංසන කරලා

833

අත්අඩංගුවට පත් සැකකරු රිමාන්ඩ්

ළමා සහ කාන්තා හිංසනය පිළිබඳ සෙවීමට බස් රථයට නැගි උපාය දූතිකාවකට ලිංගික අතවර කිරීමට තැත් කළ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑළිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාදනි මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු මේ මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන 45 හැවිරිදි පුද්ගලයෙකි.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ළමා සහ කාන්තා හිංසනය මැඬපැවැත්වීම වෙනුවෙන් නුවරඑළිය සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයකට පොලිස් උපාය දූතියෙක් යොදවා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්ද බස් රථයේ යොදවා තිබියදී සැකකරු උපාය දූතියට ලිංගික හිංසනයන් සිදු කර ඇති බව නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය සිට ගමන් ආරම්භ කරන ලංගම සහ පෞද්ගලික බස් රථවල මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවද මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment