ඇළකට රසායනික දියරයක් දමන්න ගිය රියැදුරුට ගම්මු පහර දෙති

72

රුවන්වැල්ල, අමිතිරිගල ප්‍රදේශයේ ඇළ මාර්ගයකට රසායනික ද්‍රව්‍ය අඩංගු දියරයක් මුදා හැරීමට පැමිණි බවට සැක කරන බවුසර් රථයක් ප්‍රදේශවාසීන් විසින් පසුගිය 6 වැනි දින රාත්‍රීයේ අල්ලාගෙන රුවන්වැල්ල, මැදගොඩ පොලිස් මුරපොළ වෙත භාර දී තිබෙයි. එහි දී එම බවුසර් රථයේ රියැදුරු වෙත පහර දීමක් ද සිදු කර ඇති අතර ඔහු මේ වනවිට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි. ප්‍රදේශවාසීන් පවසන්නේ අවස්ථා කිහිපයක දී මෙසේ රසායනික ද්‍රව්‍යය ගෙනැවිත් ඇළට මුදා හැර ඇති බවයි. මෙයින් ඇළ මාර්ගය ආශ්‍රීත ජීවත්වන ජලජ ජීවීන් මිය යන බවත් අසල වූ කුඹුරු යාය වෙත මෙම ජලය ලබා ගන්නා නිසා අවධානම් තත්ත්වයක් ඇති බවයි. සිද්ධීයේ දී බවුසරයට ද හානි සිදු කර තිබෙයි. බවුසර් රථය රදාවාන, හේනේගම ප්‍රදේශයේ එකක් බවට හඳුනාගෙන තිබෙයි.

මේ සම්බන්ධව වරද කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අමිතිරිගල ප්‍රදේශයේ ජනතාව 7 වැනි දින අවිස්සාවේල්ල, කටුනායක අමිතිරිගල ප්‍රදේශයේ දී විරෝධතාවයක් ද දැක් වූහ.
වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment