අරගලයක සැඟවුණු කතා පොත එළිදකී

394

මේ හරියටම 2008 නොවැම්බර් හෙවත් ඉල් මාසයේ මුල හරියේ දවසකි. මා එවක සේවය කළේ “දිවයින” පත්තරයේය. රෝහණ විජේවීරයන්ට බෙහෙවින් ඇලුම් කළ 1971 ටත් පෙර කාලයේ සිට ඔහුගේ පැරණිතම දේශපාලන සගයකු වූ එංගලන්තයේ පදිංචි පෝල් පීරිස් නමැත්තෙක් ඔය කාලයේ ලංකාවට පැමිණ සිටියේය. ඒ ඔහු විසින් විජේවීරයන් පිළිබඳ නිමවන ලද In Search Of Justice (විනිශ්චය සොයා) නම් වාර්තා චිත්‍රපටය තිරගත කරනු පිණිසය. කොළඹ පැවති ඉතාම සීමිත පිරිසක් සහභාගි වූ ඒ අවස්ථාවට මම ද එක්වීමි. රෝහණ විජේවීරයන් පිළිබඳ එතෙක් මෙරට බොහෝ දෙනකු නොදැන – නොදැක තිබුණු දුර්ලභ කාරණා මෙන්ම ඡායාරූප හා සජීවී දර්ශන රැසක් ඒ චිත්‍රපටයේ අඩංගුව තිබීම මා විශ්මයටත් කුතුහලයටත් පත් කළේය. මම චිත්‍රපට දර්ශනය අවසානයේ පෝල් පීරිස් මහතා සමඟ කතා කරන්නට අවස්ථාවක් උදා කර ගතිමි. ඒ වනවිට රෝහණ විජේවීර ඝාතනය කොට වසර 20 ක් පමණ ගතව ගොස් තිබුණ ද පෝල් පීරිස් සතු ඒ මතකයන් හා සම්පත් ලංකාවේ කිසිම මාධ්‍යයකින් හෝ කිසිම පුද්ගලයකුගෙන් එතෙක් මා දැක තිබුණේ නැත. 1977 වැනි ඈත කාලයක යාපනයේ රැස්වීමකදී විජේවීරට එල්ල වන ගල් පහරකින් හිස තුවාළ වී ලේ ගලන අයුරු ද ගමනායක පැමිණ විජේවීර වැළැඳ ගන්නා අයුරු ද රැඳි සජීවී වීඩියෝ පටය ද ඔහු සතු විය. ලංකාවට පැමිණි වතාවක ඒ අවස්ථාව එම රැස්වීමේදීම වීඩියෝ ගත කර තිබුණේ ද ඔහු විසිනි. පෝල් පීරිස් යළි එංගලන්තයට යන්නට පෙර මා ඔහුගෙන් බොහෝ කරුණු හා ඡායාරූප ලබා ගෙන ලිපි මාලාවක් ලියන්නට තීරණය කළෙමි. ඒ අනුව 2008 නොවැම්බර් 23 වැනිදා එහි මුල්ම ලිපිය “දිවයින ඉරිදා” පුවත්පතේ පළ විය. පසු කාලයක බොහෝ දෙනකු උපුටා දැක් වූ විජේවීරගේ හිසින් ලේ ගලන යාපනයේ පින්තූරය මුලින්ම පළ වුයේ ඒ ලිපියේය.

කිසිදු ගොනුවක් නැතිව සැරින් සැරේ සොයා ගත් පත්තර කෑලි දෙන විට ඒවා එක්තැන් කොට මටත් සිතා ගන්නට බැරි විදියේ පරිසමාප්ත ‘ලේ අවුට්’ මුල් පිටපත මනා ලෙස සකසා දුන් ජයලත් සොයුරාට බොහොම ස්තූතියි. ඔහුගේ සුවිශේෂී හැකියාව නොවන්නට මෙය මට සැබෑ නොවන සිහිනයක් පමණක් වන්නට තිබිණි. කාලයේ වැලි තලාවෙන් සැඟව තිබූ මහා කතාන්දර ගොන්නක ඉතා සුළු ටිකක් මේ අයුරින් ලියන්නට විවිධ අයුරින් මට සහාය වූ මෙහි එන විශ්වාසදායක සාක්‍ෂිකරුවන් සියලු දෙනාට මම හිස නමා ආචාර කරමි. තමන්ගේ ගෙදරට කවුදෝ කිරි හට්ටියක් ඔතාගෙන ආ ‘දිවයින’ පත්තර පිටුවක තම දියණිය පිළිබඳ රහස ලියා තිබෙනු දැක මට දුරකථනයෙන් කතා කළ බණ්ඩාරගම මහවිල ඩයස් මුදලාලිගේ (උපතිස්ස ගමනායක) ගෙදර දරුවන් සමඟ සිටි පුෂ්පිකා සොයුරියගේ තාත්තා පියසේන ජයතිලකගේ පටන් ඒ හමුවීම් පුදුමාකාරය. ඔවුන් පිළිබඳ වෙන වෙනම මෙහි නොලියන්නේ මේ කතාන්දර තුළ ඔවුන් ජීවත් වන බැවිනි.

අරගලයක සැඟවුණු කතා පොත එළිදකී

රෝහණ විජේවීරගේ දේශපාලනය පිළිබඳ විවිධ අදහස් ඇති විවිධ සංවාද මතවාද තිබෙන කොතෙකුත් මේ රටේ සිටින්නට පුළුවන. ඔහු සහ ඔහුගේ සගයින් වටා පූජනීය රැස් වළලු නිර්මාණය කිරීම මේ ලිපිවල අභිප්‍රාය වූයේ නැත. පැවැති ඓතිහාසික තත්ත්වයන්ගෙන් ගලවා ඒවා උත්කර්ශයට නැංවීම අපගේ අරමුණ වූයේ නැත. 1982 අප්‍රේල් නැඟිටීමේ 11 වැනි සංවත්සරයේදී විජේවීරයන්ම කී පරිදි තමා සහ තම සගයින් ‘මැග්නිෆිෂන් සෙවන්’ (සුවිශේෂී සත්දෙනා) නමැති ඇමෙරිකානු කව්බෝයි චිත්‍රපටයේ දැක්වෙන දුගියන් ගලවා ගන්නා රැම්බෝවරු නොවේ. ඔහු මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගෙන් මතුව ඒ ජනතාව වෙනුවෙන්ම අරගල කොට සුවිශේෂී ප්‍රතිභාවක් ඉතිහාසයට එක්කොට ගිය සාමාන්‍ය මිනිසෙකි. මෙරට ඉතිහාසයේ ගැඹුරුම සිදුවීම්වලට, විවේචනයන්ට සහ ප්‍රහාරයන්ට මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරය රෝහණ විජේවීරගේ දේශපාලන ව්‍යාපාරය ය. එහෙත් ඔහු තරම් ඉහළ අගයක් ගන්නා වූද ප්‍රතිභාසම්පන්න වූද උත්තේජනයක් බෙදාහරිමින් සිය පන්ති යුතුකම ඉටු කළ නායකයකු නොමැති තරම්ය.

වසර 14 කට ආසන්න කාලයක් තිස්සේ පුවත්පත් කිහිපයකටම ලියුව ද මෙවැනි පොතක් පළ කරන්නට තීරණය කළේ හදිසියෙනි. කාලාන්තරයක් විටින් විට ලියූ ලිපි බැවින් ද නැවත සංස්කරණයක් නොකළ බැවින් ද පුනරුච්ඡාරණ වැනි සුළු ප්‍රමාද දෝෂ එක දෙකක් තිබෙන්නට පුළුවන. ලියූ කියූ දේ සුරැකිව තබා නොගැනීමේ වරද මගේ දුර්වලකමක් බැවින් තවත් කතා බොහොමයක් මගහැරී ගොස් තිබේ. ඒ ‘අත්‍යවශ්‍ය නරක’ නිසා පාඨක ඔබට යම් අසාධාරණයක් වී නම් මා ඒ පිළිබඳ සමාව අයැදිමි.

ග්‍රන්ථයේ පෙරවදනින් ගත් උපුටනයකි

advertistmentadvertistment
advertistmentadvertistment