නිර්මාණකරණයට උනන්දුවක් දක්වන දුහුනනට ඒ පිළිබඳ අර්ථාවබෝධය ලබාදෙන ශාස්ත්‍රීය ග්‍රන්ථ, ලිපිලේඛන කොතෙකුත් ඇතත්, බොහෝ ආධුනිකයනට ඒවා අවබෝධ කරගැනීම තරමක් දුෂ්කර ය. එහෙත්, නිර්මාණයක් සඳහා වස්තු බීජයක් ලද මොහොතේ පටන් එය නිර්මාණයක් ලෙසින් ප්‍රසූත වීම දක්වා වන විවිධ අවස්ථාවන් පැහැදිලිවත්, නිරවුල්වත්, සරලවත් විස්තර කෙරෙන අප සිත් පැහැර ගත් සාරගර්භ සටහනක් පසුගිය දා අපට හමු වී ය.

ඒ, ලෝක ප්‍රකට කවි කිවිඳියන් තිස්පස් දෙනකුගේ ජීවන තොරතුරු හා ඔවුන්ගේ සුප්‍රකට කවි සහ ඒවායේ සිංහල පරිවර්තනත්, පැරණි වියට්නාම් සෙන් කවි පිළිබඳ පරිච්ඡේදයකුත් ඇතුළත් කර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සම්පාදිත ‘භාවාත්මක ආත්මභාෂණය’ නම් මාහැඟි කෘතියේ එන අපූරු පෙරවදනිනි.

එම පෙරවදන ඔහු පාඨකයා වෙත ඉදිරිපත් කරන්නේ අප මුලින් ද සඳහන් කළ සරල, සුගම බසින් යුත් සංවාදයක ස්වරූපයයකිනි. ඒ සංවාදය ඔහු ආරම්භ කරන්නේ ඇමරිකානු මහා කවියා වන රොබට් ෆ්රොස්ට් 1930 වසරේ දී කළ දේශනයක අදහස් උපුටා දක්වමිනි. ෆ්රොස්ට් පළකළ එම සාරගර්භ අදහස් සංක්ෂිප්ත කර ගතහොත්, ඒ මෙසේ ය.

‘කාව්‍ය පමණක් නොව, සෑම නිර්මාණයක් ම ආරම්භ වන්නේ භාවනාත්මක චින්තනයකිනි. අප ජීවත්වන්නේ චින්තනය හෙවත් ‘සිතීම’ නිසා වන අතර, අපේ සිතිවිලි විටෙක ‘රූපක’ බවට පත්වේ. එම අපූරු රූපක විටෙක අපූරු ‘වදන් වැලක්’ බවට පත්වන අතර, එම රූපකවලින් ඉවත්වෙන්නට නොහැකි වන ආකාරයට ඒවා අපට විටින් විට වද දෙන්නට පටන් ගනී. ඒ, විටෙක සතුටක් ද, තවත් විටෙක අසතුටක් ද, තවත් විටෙක විරෝධයක් ද ඇති කරමිනි. නම් නොකළ හැකි ආකාරයෙන් ගොඩ නැගෙන ඒ තත්ත්වය අප තුළ ‘රූපකාර්ථ’ ගොඩනැගීමට උපකාරී වෙයි.

කිසියම් සන්නිවේදනයකට මග සාදන එම තත්ත්වය වටහා ගැනීම එතරම් පහසු නොවේ. එය සතුටින් ඉටුකරන සන්නිවේදනයක් නම් එම සිතිවිලි, වදන් සහ වදන්වලින් බිහිවන වැකි බවට පත්වේ. මෙම තත්ත්වය ‘ප්‍රකාශනය’ එසේත් නැතිනම්, ‘සන්නිවේදනය’ ලෙස හැඳින්වේ. එය එක්තරා ආකාරයකට සිත නිදහස් කර ගැනීමකි. මහා දාර්ශනික ඇරිස්ටෝටල් මෙය හඳුන්වා දී ඇත්තේ ‘විසෝදනය’ ලෙස ය. එය ‘භාව විරේචනය’ ලෙස ද හැඳින්වෙන අතර, ආගමික අර්ථයෙන් ගතහොත්, එය ‘පාපෝච්චාරණය’ ලෙස ද හැඳින්විය හැකි ය.

මෙම තත්ත්වය කවියාගේ කාර්යයට සම්බන්ධ කරන්නේ කෙසේ ද?. කවියා යනු සියුම් හිතක් ඇති අපූර්ව වස්තු නිර්මාණයේ ප්‍රඥාව ඇති කෙනෙක් වුව ද, වඩාත් ම භාවනාත්මක චින්තනයක් ඇත්තේ ඔහුට ය. ඔහු වෙත ඇති රූපකවලින් ඔහු චිත්‍රශිල්පියකු මෙන් රූප මවයි. ඒ ‘වදන් චිත්‍ර’ ප්‍රබල වෙන්නට-වෙන්නට මැවෙන නිර්මාණය ද ප්‍රබල වෙයි. එය ආත්මභාෂණයක ප්‍රතිඵලයකි.

කවියාගේ මෙම ආත්මභාෂණය කෙමෙන් වර්ධනය වන අතර, එහි දී සිදුවන්නේ ඔහු වෙත ඇති රූපක පරිණාමයට පත්වීම ය. බහුතරයකට නොපෙනෙන කවියාගේ සියුම් ඉසියුම් නිමැවුම් ලෝකයට ප්‍රවිශ්ඨ වෙන්නේ ඔහු තුළ උපදින මෙම ‘සන්තුෂ්ටිය’ හෙවත් පෙරදිග ශාස්ත්‍රඥයන් හැඳින්වූ ‘ආනන්දය’ තුළිනි.

එම අභ්‍යන්තර සන්තුෂ්ටිය එක්තරා මොහොතක් දක්වා ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන අතර, එම මොහොත හැඳින්වෙන්නේ ‘නිමැවුම් මොහොත’ ලෙස ය. කෙමෙන්-කෙමෙන් පරිසමාප්තිය කරා ළඟාවන ඒ මොහොතට පිවිසීම සඳහා කවියාට මොනතරම් භාවනාත්මක ආත්මභාෂණයක යෙදෙන්නට සිදුවෙන්නේ ද? ඒ නිසා බිහිවන නිමැවුම මගින් අපට අත්කර දෙන්නේ කුමක් ද? අපි එය ‘ප්‍රඥාව’ ලෙසින් හඳුන්වමු.’

එවන් සාරගර්භ පෙරවදනක් සිය කෘතියට එකතු පහදු කරගන්නා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ අනතුරුව ලෝක ප්‍රකට කවි කිවිඳියන් සහ ඔවුන්ගේ විශිෂ්ට කාව්‍ය නිර්මාණ රැසක් අපට හඳුන්වා දීම ආරම්භ කරති.

කවි සිත් නුවණින් පුරවන හරවත් ආත්ම භාෂණයක් !

ලෝක ප්‍රකට කවි කිවිඳියන් සියල්ලන් අතරින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අවධානය දිනාගන්නට රොබර්ට් ෆ්රොස්ට්, එමිලි ඩිකින්සන්, වෝල්ටර් විට්මන්, ඩී.එච්. ලෝරන්ස්, ආන්නා අක්මතෝවා, කාර්ල් සැන්ඩ්බර්ග්, සරෝජිනී නායිදු, සිල්වියා ප්ලාත්, ලැන්ග්ස්ටන් හියුස්, රවීන්ද්‍රනාත් ඨාකුර්, ජේම්ස් ජොයිස්, ස්ටීවන් ක්‍රෙන්, ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, බොරිස් පැස්ටනැක්, ඉවාන් අන්දර්වීච් ක්‍රිලොෆ්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ඒ. ඊ. හවුස්මන්, හර්මන් හෙස, හයින්රික් හයින්, සාරා ටීස්ඩේල්, රොබර්ට් බ්‍රවුනින්ග්, එඩ්නා සෙන්ට් වින්සන්ට් මිලේ, ඩබ්ලිව්. බී. යේට්ස්, යොහානා වුල්ෆ්ගැන්ග් ග(ර්)තේ, ඛලීල් ජිබ්රාන්, විලියම් බ්ලේක්, ඕමාර් ඛයියම්, ස්ටීවන් ස්පෙන්ඩර්, ග්වෙන්ඩලින් බෲක්ස්, ඇලන් ජින්ස්බර්ග්, යමනෝ නො ඔකුරා, ලී ටායි පෝ, චෙන් යුන්, රොබර්ට් ග්‍රේව්ස් සහ යිව්ජිනි යෙෆ්ටුෂෙන්කෝ සමත් වෙති.

ඒ සියලුම කවි කිවිඳියන්ගේ ජීවන තොරතුරු නාට්‍යමය අනුසාරයෙන් ඉදිරිපත් කරන ඔහු, ඔවුන්ගේ තෝරාගත් කවිවල ඉංග්‍රීසි කවිය පළමුවත්, එහි සිංහල පරිවර්තනය දෙවනුවත් සඳහන් කර තිබීම ඒ කවි කියවා රස විඳීමට පහසුවක් වී තිබේ. එසේ ම, එය කාව්‍ය පරිවර්තනයේ යෙදෙන දුහුනනට මෙන් ම, ප්‍රවීණයනට ද කෙරෙන මහඟු මග පෙන්වීමක් ද වෙයි.

ඒ සියලු කවි මෙම කෙටි ලිපියේ බහාලමින් ඒ පිළිබඳව කතා කිරීමට දුෂ්කර කාර්යයක් වන හෙයින්, එක රටකින් එක කවිය බැගින් තෝරාගෙන ඒවාට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් කර ඇති සිංහල පරිවර්තන පමණක් ඔබගේ අවධානයට යොමු කරන්නට අදහස් කරමු.

ඒ අනුව, මෙහි ඇතුළත් ඇමරිකානු ජාතික කවි කිවිඳියන් සියල්ලන් වෙනුවෙන් ඇමරිකානු මහා කවියා සේ සැලකෙන රොබර්ට් ෆ්රොස්ට්ගේ Fire and Ice නම් කවේ සිංහල පරිවර්තනය පළමුව පළ කරමු.

ගින්දර සහ අයිස්

‘ලෝකය කෙළවර වන්නේ ගින්නෙන්’
එසේ කියති සමහරු,
‘එසේ වන්නේ අයිස්වලින්’
තවත් සමහරු කියති.

ඇල්ම ගැන මා දන්න දේ අනුව
මම එකඟවන්නම්,
ගින්නෙන් යයි කියන අය සමඟ
එහෙත් දෙවතාවක් විපත්තීන් වේ නම්,

මම දනිමි වෛරය ගැන
විනාශය ළං කිරීමට,
අයිස් වුව සමත් වේ.

දහසකට අධික නිර්මාණ ගණනකට හිමිකම් කියන බි්‍රතාන්‍ය ජාතික කවියකු හා නවකතාකරුවකු වන ඩී. එච්. ලෝරන්ස්ගේ The Rainbow නම් කව ඔහුගේ අනෙක් කවි හා සැසඳීමේ දී ඉතා කෙටි කවකි.

දේදුන්න

දේදුන්නට ද ඇත සිරුරක්
පොදින් පොද ඇද හැලුණු
වැස්සකින් සැදුම් ලද
නිමැවුමකි ඔප් නගන
පරමාණුවෙන් ගෙතුණු
එහෙත් එය අතින් ගත නොහැකි වේ
එමතු ද සිතින් කියනුව කෙසේ

ප්‍රමුඛතම ඉන්දීය කිවිඳිය ලෙස සැලකෙන සරෝජිනී නායිදු දේශ භක්තියෙන් යුතුව කාව්‍යකරණයේ නියැලුණු කිවිඳියක ලෙස ප්‍රකට ය. හර්මන් හෙස කවියාගේ If the War goes on නම් ලිපි එකතුව කියවීමෙන් ලත් සහකම්පනයෙන් ඇය ලියූ Freedom without a War නමැති මෙම කව ඇය උපන් දේශයට පමණක් නොව, මුළුමහත් ලෝකයට ම එදාටත් වඩා වැදගත් වන්නේ අද ය.

යුද්ධයකින් තොර නිදහසක්

විමුක්තිය නිදහස කෙතරම් සුන්දර ද?
ඒත්, එය ළඟාකර ගත හැකි ද?
ලේ වැගුරුමින් තොරව
මගේ දේශයේ බුද්ධිය විය යුත්තේ
හතුරු හමුදා නසන එක නොවේ මැයි
එනම් එය කෙලෙසින් ද ලද යුත්තේ?
වැටහීම, සෙනෙහස, ඉවසීම, ප්‍රඥාව
මේ නොවේ ද දිනිය යුතු සංකල්ප
පසෙක ලා අවි ගැටුම
මුහුණට මුහුණ ලාකතාබහ කරගනිමු
හිතට එකඟව
රටට ඇල්මෙන් යුතුව

‘සිද්ධාර්ථ’ නම් ශ්‍රේෂ්ඨ නවකතාව ලියූ ජර්මන් ජාතික හර්මන් හෙස කවියාගේ ඉතා සියුම් අනුභූතියක් රැගත් මෙකව ඉංග්‍රීසියට නැගුණේ In the Fog යනුවෙනි.

මීදුමේ

මීදුමේ ඇවිදීමේ අපූරුව !
හැම ගහක් ගලක් ම තනිවෙලා
එකෙකුට අනෙකා නොපෙනේ
හැමකෙකුම තනිවෙලා

එක් කලෙක තිබිණි මගේ ලොව
මිතුරන්ගෙන් පිරි
එකල මම ජීව එළියේ පහන් වී
දැන් මීදුම පතිත වී
එකෙකුවත් නොපෙනී

මේ මීදුම් අඳුර ගලන බව
දැනගත් කෙනා පමණි
නැණවත්

එය කෙමෙන් වැඩිවේවි
සෙස්සන්ගෙන් වෙන් වී
මීදුමේ ඇවිදීම කෙතරම් අපූරුද

දැන් ජීවිතයේ හුදකලා බව
එකෙකු අනෙකා නොදකී
හැමකෙක් ම හුදකලාවේ

ප්‍රාචීනවාදී චින්තනයට නැඹුරුව නිර්මාණකරණයේ යෙදුණු ඩබ්ලිව්. බී. යේට්ස් නම් අයර්ලන්ත ජාතික මහා කවියා රවීන්ද්‍රනාත් ඨාකූරයන්ගේ කවිවලින් ආභාසය ලබාගත්තා පමණක් නොව, ඔහුගේ කවි ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට උපකාර කළ බව ද මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සිය කෘතියේ සඳහන් කර තිබේ. A Meditation in Time of War නමැති යේට්ස්ගේ මේ සැකෙවි කව ඔහු සිංහලයට නගා ඇත්තේ මෙසේ ය.

යුද සමයේ භාවනාවක්

හද නහර ගැස්මක් ඇති නිසා
මම හිඳ ගත්තෙමි
සුළඟින් බිඳී ගිය (මහලු) ගස යට
දුඹුරු පැහැගත් ගල මත
මම දැන ගතිමි කෙනෙකු සජීවී බවත්
මානව වර්ගයා අජීවී මායාවක් බවත්

මේ ලෙබනන් ජාතික මහාකවි ඛලීල් ජිබ්රාන්ගේ Sand and Foam නම් කෙටි කවියේ සිංහල අනුවාදය යි.

වැලි සහ පෙණ

ප්‍රේමය යනු ආලෝකයේ ලියන ලද වදනකි
අලෝකයේ අතින් ලියන ලද්දකි
අලෝකයේ කරදහියක් මත ලියන ලද්දකි

ආතර් වේලි කවියා විසින් ඉංග්‍රීසියට නගනු ලැබ ඇති පැරණි ජපන් කවියකු වන යමනෝ නො ඔකුරාගේ Because He is Young නමැති කවියට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් කර ඇති සිංහල පරිවර්තනය මෙසේ ය.

ඔහු යොවුන් වූ බැවින්

ඔහු තුරුණු වූ බැවින්
නොදනී කොහිද යන්නේ
මට හැකි වෙතොත්
මරුවාගේ දූතයාට අල්ලසක් දී
ඔහුගේ උර මත ඔහු යවන්නට!

මෙවන් අපූරු සම්භාව්‍ය කාව්‍ය රචනා රැසකින් සමන්විත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ‘භාවාත්මක ආත්මභාෂණය’ ශාස්ත්‍රීය ග්‍රන්ථය මෙරට පාඨක විචාරක අවධානයට වෙසෙසින් ලක්විය යුතුවන්නේ විදෙස් කාව්‍ය පරිවර්තනයට පමණක් නොව, ස්වතන්ත්‍ර කාව්‍යකරණයට ද එමගින් ඉමහත් ආලෝකයක් ලැබෙන හෙයිනි.

ශාස්ත්‍රීය ග්‍රන්ථ විසිඅටක්, නවකතා දහනමයක්, කෙටිකතා සංග්‍රහ තුනක්, ඉංග්‍රීසි බසින් පළකළ කෘති එකොළහක්, කාව්‍ය සංග්‍රහ දාහතක් සහ එක් ළමා කතාවක් මීට පෙර ලියා පළකර ඇති මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ මේ සාහිත සද්කාර්යය ඔහුගේ නිර්මාණ ජීවිතයේ අසූවැනි සාහිත කෘතිය යි. එවන් අනුපමේය සාහිත මෙහෙවරක් සිදුකළ සහ සිදුකරමින් මේ වන විට අසූපස් වන වියේ පසුවන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් වැනි වියතුන් අපගේ නිසි සම්භාවනාවට පත් නොවීම කනගාටුවට කරුණකි.

මෙම කෘතිය : සුරස ප්‍රකාශනයකි –

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment