මන්ත්‍රී ධුරයේ ෆවුසි දිවුරුම් දෙයි: ආණ්ඩු පැත්තට යන විට විපක්‍ෂයේ අසුන පෙන්වයි

136

සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඊයේ (09දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තුව ඊයේ රැස්වීමෙන් අනතුරුව එහි ප්‍රථම කටයුත්ත ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා නව මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේය.

අවසන් වරට පැවැත්වූ මහ මැතිවරණයේ දී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවුණි. ඒ. එච්. එම්. ෆවුසි මහතාට මනාප 48,701ක් හිමිව තිබූ අතර ඔහු එහි 07 වැනි ස්ථානයට පත්විය.

ඒ අනුව ඔහු පරාජිත ලැයිස්තුවේ ඉහළින්ම පසුවූ බැවින් අදාළ මන්ත්‍රී පුරප්පාඩුවට පත් වීමේ අවස්ථාව හිමි වූයේ ඔහුටය. එහි 08 වැනි ස්ථානයේ පසුවනුයේ හිටපු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ය.
ඒ. එච්. එම්. ෆවුසි මහතා මේ වන විට 85 වැනි වියෙහි පසුවේ.

කෙසේවෙතත් ඔහු දිවුරුම් දෙන අවස්ථාවේදී ඔහුගේ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය සභාවේ කටයුතු වර්ජනය කර තිබිණි. එහෙත් පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් සභාවේ රැඳී සිටියේය.

අභිනව මන්ත්‍රී ෆවුසි මහතා දිවුරුම් දී ආණ්ඩු පක්ෂය දෙසට ගමන් ගනිද්දී වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැමිණ ඔහුට විපක්ෂය දෙසට ගොස් අසුන් ගන්නා ලෙස දන්වන අයුරු දක්නට ලැබිණ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment