මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

179

කට ගඳ

මේ ලෝකෙ එපා කරපු මිනිස්සු ඉන්නවා. මමත් එපා කරපු මිනිහෙක් තමයි. ඒත් මටත් එපා කරපු මිනිස්සු ඉන්නවා. ඒ එක් කට්ටියක් තමයි වියාකරණකාරයො. මොහොක හරි වියාකරණය හොයනවා තරම් එපා කරපු දෙයක් මට තවත් නෑ. මං ව්‍යාකරණ දන්නෙ නැති නිසා නෙවෙයි, වියාකරණකාරයො ළඟ ඉන්නකොට මට කට ගඳක් එනවා. ඒක උහුලන්න බැරි කට ගඳක්. දැන් මෙතනින් හැතැප්මක් දුර වියාකරණ ලොක්කෙක් ඇවිද්දොත් ඒ ඇවිදින්නෙ වියරණකාරයෙක් කියල මට ටක්කෙටම කියන්න පුළුවනි. මොකද එච්චර දුර ඉඳලත් මගෙ නාස් පුඩුවලට කට ගඳ එනවා. පුදුමෙ කියන්නෙ මොන තරම් ඒ ගඳින් ඈත් වෙලා ඉන්න හැදුවත් ඒකෙන් ගැලවෙන්න බෑ මට. මොකද හැම තැනම වියාකරණකාරයො.

සාමාන්‍යයෙන් නවකතාවක්, කෙටිකතා පොතක්, කවි පොතක් දොරට වඩිද්දි ඉන්න ඕන සහෘදයොනෙ. එහෙම නැත්නම් විභාගවලට නෙවෙයි, විනෝදෙට පොත් කියවන මිනිස්සුනෙ. ඒත් ඒ තැන්වලත් දැන් අරක්ගෙන ඉන්නෙ වියාකරණකාරයො. මේ ළඟදි මං කවියෙක් ගැන කථා කරන්න ටීවී චැනල් එකකට ගියා. එතනත් ප්‍රධාන කථිකයා විශ්වවිද්‍යාලෙ වියාකරණකාරයෙක්. තවත් වෙලාවක ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයට ගියා තාගෝර් වැඩසටහනකට. එතනත් වියාකරණකාරයෙක්. කමක් නෑ ආවාට ඔවුන්. කරන්න බැරි එතනත් ඔවුන් ගඳ ගැස්සීම. හැබැයි වැඩේ කියන්නෙ ඔවුන්ගේ කට ගඳ එතන මට ඇර වෙන කාටවත් ආවේ නැති එක. මොකද වැඩේ ඉවර වෙලා ස්තූති කථා අහද්දි මට ඇහුණෙ හැම දෙනාම වියාකරණකාරයාට නොසෑහෙන්න ස්තූති කරනවා. ඒවගේම මොකක්ද මතක සටහනකුත් මිනිහාට ප්‍රදානය කරලා කවුද සෙල්ෆියකුත් ගන්නවා මං දැක්කා. එතකොට මට හිතුණෙ කට ගඳ මගේ නහයෙ ප්‍රශ්නයක් මිස වියාකරණකාරයා ගේ ප්‍රශ්නයක් නෙවෙයි කියල.

විශ්වවිද්‍යාලෙ වියරණකාරයො හඳුනගන්න නම් ඔය විධියේ ගඳක් එනකන් බලා ඉන්න ඕනත් නෑ. ඔවුන්ගෙ රූපෙ දැකපු ගමන් ඒ බව කියන්න ඇහැකි. මොකද ඔවුන් හැම වෙලාවෙම ඉන්නෙ මැදපු අත්දිග කමිසයක් ඇඳගෙන. කකුලෙ දාගෙන ඉන්නෙත් කළු බූට් සපත්තු දෙකක්. හරියට හමුදාකාරයො වගේ. හුඟක් වෙලාවට ඔවුන්ගෙ මූණෙ ලේ කලඳක් පේන්න නෑ. රැවුල දශමෙට කපලා හින්දා ලේ නැති මූණ හොඳට පේනවා ඔරං ඔටං වගේ. ඇයි ලේ නැත්තෙ? ලියුකේමියාවද? නෑ. ඔවුන් හුඟක් පොත් කියවනවා. ඒවා බරසාර පොත්. ඒවා කියවද්දි ඇඟේ ලේ හිඳෙනවා. දැන් වියාකරණකාරයෙක් දේශනයක් කරද්දි අහන් ඉන්න හිතෙනවාද? නෑ. වියළියි. ඒ හැමදාමත් පොතේ තියෙන දේම කියවලා කියවලා මූණ දාදු කැටයක් වෙලා. ඒත් ලස්සනට කථා කරන වියරණ ඇදුරොත් ඉන්නවා. ඇයි අනේ! අර මාසෙකට සැරයක් ජාතික පත්තරේක සම්මුඛ සාකච්ඡාවක් යවන ඇදුරුතුමා ඉන්නෙ. ඒත් ඒ මොකා වුණත් කථා කරලා ඉවර වුණාට පස්සෙ ඉතුරු මොනවාද කියල බැලුවොත් ඒ, ඉල ඇදෙන හිනාවකුයි තමන් ගැන පුරසාරම් ටිකකුයි විතරයි.

වියාකරණකාරයො නවකතා කියවන්නෙත් නෑ. “අපි ශාස්ත්‍ර පීඨයෙ ආචාර්යවරු, අපට මොකටද නවකතා!” කියල මේ ළඟදි එක සරසවි වියරණකාරයෙක් කිව්වා. ඒක හරියට හරි. නවකතාවයි භාෂාවයි අතර මොන සම්බන්ධයක්ද! ඒක ඒ ඇදුරුතුමා හරියටම තේරුම් අරගෙන තිබුණා. හැබැයි ලෝක පුදුමය ප්‍රබන්ධ නොකියවන ඒ ඇදුරො හුඟක් වෙලාවට සාහිත්‍ය සම්මාන උත්සවවල විනිශ්චය මණ්ඩලවල අරක්ගෙන ඉඳීම. සමහර විනිශ්චය මඬුලුවල යාවජීව සාමාජිකයො විදියටත් ඔවුන් ක්‍රියා කරනවා. ඒක වැරදිද? වැරදි නෑ. මොකද මොන සාහිත්‍ය සම්මාන උත්සවේද ලංකාවේ පොත් කියවලා සම්මාන දෙන්නෙ? කියවලා සම්මාන දුන්නා නම් දෙන්න ඕන ඔය සම්මාන ලබන පොත්වලට නෙවෙයිනේ. හැබැයි ඉතින් මට හිතෙනවා පොත් නොකියවා සම්මාන දෙන එක තමයි ලංකාවේ සම්මාන ප්‍රදානය විය යුතු හරිම විධිය කියල. මොකද කොයි එකාද අපේ පොතක් කියල ලියන්නෙ?

මං කවියෙක් ගැන කථා කරන්න ළඟදි ටීවී චැනල් එකකට ගියා කියල කිව්වනෙ. එතනදි අපේ වියාකරණ ඇදුරා කථා කරපු දේ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මොකද ඔහු කිව්වෙ පොත් මුදලාලිලා විතරක් හොයා බලන තොරතුරු ටිකක්. මේ කවියා කවි පොත් කීයක් ලියලා තියෙනවාද? ඒ පොත් ලියපු අවුරුදු මොනවාද? ඒ පොත්වල පිටු කොච්චර තියෙනවාද? පළවෙනි පොත ලියද්දි එතුමාගේ වයස කීයද? එතතොට එතුමා රස්සාවක් කළාද? රස්සාව කරන ගමන් තෙල් පෝළිම්වල හිටියාද? තෙල් පෝළිමේ දවස් කීයක් ලැග්ගාද? එතනදි කලන්තෙ දැම්මාද?බැඳපු ගෑණියක් එහෙම සෙට් වුණාද? ඔන්න ඔය වගේ දේවල් ගැන එතුමා කථා කළේ. නවකතාවක් ගැන කථා කරද්දි මොන මොන දේ ඉදිරිපත් කරන්න ඕනද කියල හරියටම දැනගන්න ඒ මහැදුරුතුමාගේ කතාව මසුරන් වටිනවා.

හැබැයි ඉතින් මොන මසුරන් කතාවක් වුණත් මං මුළු වැඩසටහන පුරා සිටියෙ නහය තදකරගෙන. එච්චරටම කට ගඳ. මට වෙලාවකට හිතුණා මං මේ ගඳ උහුලන් හිටියත් වැඩසටහන මෙහෙයවපු ලස්සන ගෑනු ළමයා ඒක කොහොම ඉවසුවාද කියල. ඒත් ඒ ළමයා ප්‍රශ්න අහන්න ගත්තාම මට තේරුණා ඒ ළමයාගෙනුත් කට ගඳක් එනවා කියල, ඒක අරිට දෙවැනි නෑ කියල.

ඇත්තටම අද අපි ජීවත් වෙන්නෙ මොන තරම් ගඳ ගහන පරිසරයකද කියල මට හිතෙනවා. ඒත් ඇයි අපි වියාකරණකාරයො විතරක් ගඳ ගස්සනවා කියල චෝදනා කරන්නෙ? ඔවුන් කරන්නෙ ඔවුන් කැමති දේ. ඔවුන්ටත් ඕන සමාජෙට බැහැලා ඔවුන් දන්න දේ පෙන්නන්න. ආචාර්ය – මහාචාර්ය පට්ටම් ටික උඩ දාගන්න. උඩ දානකොට රෙද්ද ඉස්සෙනවා කියල ඔවුන් නොදකින්න පුළුවන්. ඒත් ඒක එහෙම තමයි. අද රෙදි ඇඳගත්තු ආචාර්යවරු කොහෙද ඉන්නෞ රෙදි ඇඳගත්තු එක ආචාර්යවරයයි දැනට මං දකින්නෙ. ඒ, කැලණියේ ආචාරි සීයා. අනෙක ඔහොම උඩ දදා ගිහින් අඩු ගානෙ විශ්‍රාම යන දවසෙදිවත් බැරියැ තානාපතිකමක් ගන්න බලුකිස්තානෙන් හරි. ඉතින් ඔවුන් කරන දේ හරි. ඔවුන්ට නවකතා ලියන්න බැරි නම් ඊළඟට කරන්න පුළුවන් හොඳම දේ ඔවුන් කරනවා: නවකතා, කෙටිකතා, කවි විනිශ්චය කරනවා. ඒ ගැන කථා කරනවා. කට ගඳ සාමාන්‍ය දෙයක්. දැන් බල්ලෙක්ගෙ කට ඉඹලා බලන්න. උගේ කටින් ඉස්සර මස් ගඳක් හැමුවා වෙන්න පුළුවන්. ඊට පස්සෙ මාළු ගඳක් හැමුවා වෙන්න පුළුවන්. ඊටත් පස්සෙ කරවල ගඳක් හැමුවා වෙන්න පුළුවන්. දැන් මොන ගඳද උගෙ කටින් එන්නෙ? හුඟක් වෙලාවට එළවළුවක, දෙකක ගඳ විතරයි. හෙට අනිද්දා උගෙ කටින් අසූචි ගඳ හැමුවත් දුක් වෙන්න එපා. මොකද බල්ලෙකුට වුණත් අද කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ එච්චරයි.

මේක වියාකරණකාරයන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි. මේක සමස්තයේම ප්‍රශ්නය. මේක වෙනස් කරන්න කියල තමයි අපේ සහෝදරයො බේරෙ වැවට බස් බස්සලා අරගල කළේ. ජනාධිපතිතුමාගේ කොතනින්වත් සොයාගන්න බැරි පොත්පත්, චිත්‍ර පුච්චලා, පුස්තකාල ගිනි තියලා උද්ඝෝෂණ කළේ. ඒ වෙනස එදා කළා නම් අද අපට ගඳ නොගහන පරිසරයක ඉන්න තිබුණා. නිදහසේ සැහැල්ලුවෙන් හුස්ම ගන්න තිබුණා. වියාකරණකාරයන්ටත් පාඩුවේ බතක්, මාළුවක් වියාගෙන කරගෙන ඉන්න තිබුණා. ඇයි අර තලේබාන්ලා යටතෙත් මිනිස්සු ඉන්නවානෙ. උන් යටතෙ ඉන්නවා නම් මුන් යටතෙ බැරිද? උනුත් එකයි, මුනුත් එකයි, මෙදා පාර වළපල්ලට!

හෝව්… හෝව්… කේන්ති ගන්න එපා! මෙතන දේශපාලන ප්‍රශ්නයක් නෑ. මෙතන සෞඛ්‍ය ප්‍රශ්නෙකුත් නෑ. කට ගඳ නැත්තෙ මොන කටේද? මෙතන තියෙන්නෙ රසඥතාව පිළිබඳ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය විසඳන්න මීට අවුරුදු හැටහතකට උඩදි සරච්චන්ද්‍ර ආචාර්යතුමා උත්සාහ කළා. එතුමා ගම් නියම්ගම් පීරලා, අවුරුදු ගණන් දිවා රෑ නිදි වරලා උසස් රසයක් ඇති කලාවක්,නාට්‍යයක් හදන්න උත්සාහ කළා. එතුමාගේ ප්‍රයත්නය මල්පල දැරුවා. අපට උසස් කලාවක් ලැබුණා. උසස් පොතපතත් ලැබුණා. ඒත් එකක් කරන්න බැරි වුණා එතුමාට. විශ්වවිද්‍යාලෙ ශාස්ත්‍ර කලා පීඨවලට ආචාරිවරු – සිසුසිසුවියො බඳවාගනිද්දි රසඥතාව මිනුමක් විධියට ගේන්න බැරි වුණා. ඒක කළා නම් අද අපට කට ගඳ ගැන කථා කරන්න වෙන්නෙ නෑ. ඒක නේද ඇත්ත? ඇත්තද ඒක? ඇත්ත ගැන මං වැඩිය කථා කරන්න යන්නෙ නෑ. මොකද මේ හැම තැනම ඉන්නෙ මොනවා වුණත් කට ගඳ ගහන මිනිස්සු. ඔවුන් අපි කියන ඇත්ත හුවා දක්වන්නෙ වෙන විධියකට. ඒක බෙල්ල ගහලා යන වැඩක්. මං මේ ලියන වචන හත අටත් නතර වෙන වැඩක්. ඒ හින්දා මේ කතාව මෙතනින් මං අහවර කරනවා. ඒත් මතක තියාගන්න. ගඳ ගහන කටවල්වලට ඕන පාදඩ වැඩක් කරන්න පුළුවන්.

රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment