මටත් කියන්න තියෙන්නෙ රන්ජන් කිව්ව වගේ මුන් ඔක්කොම කරන්නෙ බොරු – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ

272

පොහොට්ටු පුප්පල ජනප්‍රිය වෙන්න මට අවශ්‍යතාවක් නෑ!

ළමා අපචාර, ළමයින්ට එරෙහි කෲරත්වය වැනි මාතෘකා පසුගිය දිනවල වැඩි වශයෙන් සමාජයේ කතා බහට ලක්විණි. සමාජයක මෙවැනි ක්‍රියා අවම කිරීම ආණ්ඩුවක වගකීමක් වන අතර ඒ සම්බන්ධව කතා කිරීමට වත්මන් ආණ්ඩුවේ වගකීමක් උසුලන කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සමග මෙසේ සම්මුඛ වීමු.

දරුවන්ට ආදායමක් ලබන කලා කටයුත්තක නියැලීමට මේ රටේ නීතිමය බධාවක් තිබෙනවාද? මේ ප්‍රශ්නය අහන්නෙ ආශාවරී සිදුවීමත් එක්ක.

කාලාව කියන්නෙ හැමෝටම පිහිටන එකක් නෙවෙයි. කලාව කියන්නෙ උතුම් ක්‍රියාවක්. කලා කටයුතු පිහිටලා තියෙන දරුවන් වෙන්ව හඳුනාගත යුතුයි. සමාජයේ සම්භාවනාවට පත් වෙච්ච හැම කලාකරුවෙක්ම පටන්ගෙන තියෙන්නෙ ජීවිතයේ කුඩා අවදියේදී. මයිකල් ජැක්සන්, ලතා මංගේෂ්කර් වැනි අතිශය ජනප්‍රිය තරුවල ආරම්භය කුඩා අවිදියේම සිදුවෙන්නෙ. මම කලාවට එන්නෙත් වයස අවුරුදු දහසයේදී. එහෙමනම් අපේ ආශාවරී කණ්ඩායමට කලාවේ නියැලීමට මොන බාධාවක්ද? කලාවේ නියුතුවන දරුවන්ට හිරිහැර කිරීම වහාම නතර කළ යුතුයි කියල මම අදාළ බළධාරීන්ට දැනුම් දීලා තියෙනවා. මේ සම්බන්ධව සිටින පරිවාසය සහ පළාත් සභාවල ඉන්න සියලුම කොමසාරිස්වරුන් කැඳවීමක් කරන්න කියල මම අමාත්‍යාංශ ලේකම්තුමාට දැන්නුවා. සෑම පොලිස් ඒකකයකම කාන්තාවන් සම්බන්ධව කටයුතු කිරීමට පොලිස් ඒකකයක් අවශ්‍යයි. ඒ පොලිස් ඒකකයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීම මගේ යුතුකමක්. මම ඒ සඳහා නීති මාලාවක් ගෙන ඒමට දැන් කටයුතු කරමින් ඉන්නෙ. කාන්තාවන්ට තමන්ගෙ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පොලිසියක කාන්තා නිලධාරීන් අනුයුක්ත කළ වෙනම හතරයි හයේ හරි කාමරයක් තියෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න ලබන විසිතුන් වෙනිදට පාරලිමේන්තුවේ රැස්වීමක් කැඳවන්න මම ලේකම්තුමාට භාර කළා. කොහොමද මේ ළමයින්ගෙ කලා කටයුත්තක් තහනම් කරන්නෙ. කලාවට විතරක් අත තියන්න එපා කියල මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වෙ ඒකයි. හරිනම් සමස්ත සමාජයම මේ දරුවන්ගේ කලා කටයුතුවලට ආශිර්වාදයි කරන්න ඕන.

සමලිංගිකයන් සහ ද්විලිංගික ප්‍රජාව සම්බන්ධව ඔබතුමිය පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැරසෙන පනත මොකක්ද ?

මේ රටේ ඉන්නවා ජන කොටසක් ඒ අය ඒ අයගේ ලිංගික වෙනස් කම්වලට ලක්වෙලා. එහෙම කියල අපිට ඒ අය අහක දාන්න බෑ. මම මේ කියන්නෙ එහෙම විපර්යාසවලට ලක්වුණ කාන්තාවන් ගැන. පිරමි ගැන මම දන්නේ නෑ. ඒ අය ගැන පිරිමි පාර්ශ්වය බලා ගනියි. මම යෝජනාවක් කළා. අපේ කැබිනට් එක භාරව ඉන්නෙ ජනාධිපතිතුමා මේ ගැන හරිම සංවේදියි. එතුමා ඉතා ඕනෑකමින් මේ වැඩකටයුත්ත ගැන සොයා බලන කෙනෙක්. මට එතුමා වගේ කෙනෙක් යටතේ මේ කටයුත්ත කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇත්තටම “ සැනටරි වෙයාස්” සම්බන්ධ ප්‍රශ්නයෙදී එතුමා ඊට අදාළ බදු හැම එකක්ම අඩු කළා. ඒ නිසා අද සාමාන්‍ය මිලකට කාන්තාවකට ඒ අවශ්‍යතාව මිලිදී ගන්න හැකියාව තිබෙනවා. මම හිතනවා මේ රටේ සියයට පනස් තුනක් ඉන්නෙ කාන්තාවන්. පුරුෂයොත් එක්ක ගත්තාම මේ රටේ කාන්තාවට සම තැන නෙමෙයි නිසි තැනවත් නෑ. ඒගොල්ල දුර්වලයි කියල හැම තැනදීම හිතන්නෙ. පාර්ලිමේන්තුවේදී මම වුණත් පුදුමාකාර දුකකට පත්වෙනවා. ප්ලෑන් කරල මට ගහන්නෙ. පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය පනස් පහෙන් කාන්තා නියෝජනය තියෙන්නෙ දොළහයි. ඒකයි තත්ත්වය. ඉතින් අපි හිතනවා ඒ කියන පිරිසට සමාජයේ නිසි තැනක් තියෙන්න ඕන පිරිසක් කියල.

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිකම අරගෙන ඔබතුමියට මොනවද කරන්න පුළුවන් වුණේ ?

මම කරන්න හදන වැඩ කීපයක් තිබෙනවා. දැනට කැබිනට් පත්‍රිතාවකින් අනුමැතිය අරන් තිබෙනවා මව්වරුන්ට රට යන්න තියෙන දරුවන්ගේ වයස් සීමාව අවුරුදු දෙකයි කියල. මම ඒකට තදින්ම විරුද්ධයි. කරුණා කරල ඒ කැබිනට් පත්‍රිකාව රිවස් කරගන්න කියල මම ඇමැතිතුමාට යෝජනා කරනවා. ඒ වයස් සීමාව අවුරුදු පහක් දක්වා වැඩි කරන්න ඕන. ඒ වගේ වයසක දරුවෝ දාල අම්මලාට යන්න බෑ. ළමා අපචාර වැඩි වෙන්නෙ ඒ නිසා. ඒ වගේම දැන් දරුවන්ට මන්දපෝෂණය කියල කතාවක් සමාජයේ යනවා. මේකට අපි මැදිහත්වෙලා තීරණය කළා නිරෝගී දරුවෙක් බිහි කරන්න නම් ගැබිනි මවකට උදව් කරන්න ඕන කියල. ඒ සඳහා ගැබිනි මවකට රුපියල් විසි දහසේ දීමනාවක් දෙනවා. අතුරු අයවැයෙන් තව දෙදහස් පන්සීයක් වැඩි කරනවා. සෑම ගැබිනි මවකටම තමන්ගේ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එය ගන්න පුළුවන්. ඒත් එක්කම පන්ලක්ෂ අසූපන්දහසක් වන පෙර පාසල් දරුවන්ගෙන් එක් දරුවෙක්ට වෙන් කරල තියෙනව රුපියල් හැට රුපියල් සීයයක් දක්වා වැඩි කරල හොඳ පෝෂ්‍යදායී ආහාරයක් දෙන්න අපි ක්‍රියාකරමින් ඉන්නවා. අපිට මේවා කරන්න ලේකම් කෙනෙක් නෑ, ඉන්න කෙනා වෙන අමාත්‍යාංශයකත් ලේකම්.

පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඔබතුමියට හොල්මන් කරනවා කියා ප්‍රකාශයක් කළේ ඇයි ?

කථානායකවරයාට වල්ගය පෑගිලා. අහගන්න සිද්ධ වෙච්ච හැටි. එදා පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රශ්නය අහල තිබුණේ ළමා සහ කාන්තා කටයුතු කියන එකට සුබසාධන කටයුතු කියන එකත් දාලා ඇමැතිතුමාගෙන්. එතකොට ඒ ඇමැතිතුමා වෙන්නෙ අපේ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ක්‍රමයක් තියෙනවා ප්‍රශ්නයක් අහනවනම් ඒක කලින් දැනුම් දෙන්න ඕන. ගස් වලින් ගෙඩි වැටෙනවා වගේ ප්‍රශ්න අහන්නෙ නෑ. එදා දවසේ මට තිබුණේ විපක්ෂ නායකතුමා අහන්න තිබුණ ප්‍රශ්න හයකට පිළිතුරු දෙන්න. මම සූදානම් වෙලා හිටියේ ඒකට. එත් ජයතිලක කියන මන්ත්‍රීවරයා ගහෙන් ගෙඩි එනවා වගේ එයාගේ ප්‍රශ්නයකුත් දාල. හැබැයි ඒ ප්‍රශ්නය මට අදාළ වෙන එකක් නෙවෙයි. ඒ ප්‍රශ්නය අනූප පැස්කුවෙල්ගේ ප්‍රශ්නයක්. ඒ අතරේ නාමල් රාජපක්ෂයි දොලවත්තයි කරදර කරනවා පිටිපස්සෙ ඉඳන් මට ඒකට පිළිතුරු දෙන්න කියල. හැබැයි මට ඒ ප්‍රශ්නය අදාළ නෑ. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කථානායකවරයා නම කිව්වාම නැඟිටින්න ඕන නිසා මම නැගිට්ටා. කථානායකවරයාත් සොයා බැලීමක් කළේ නෑ මේ ප්‍රශ්නය අහල තියෙන්නෙ කැබිනට් ඇමැතිවරයාගෙන් කියල. ජනාධිපතිවරයාගෙන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන අගමැති හරි කථානායක හරි. මම ඒවා ඉගෙනගෙන පාර්ලිමේන්තුවේ ඉන්නෙ. විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නය එන්නත් කලින් ගහෙන් ගෙඩි එන්න වගේ ප්‍රශ්නයක් ආවම කථානායකවරයා කිව්වෙ ළමා සහ කාන්තා කටයුතු සමාජ සවිබළගැන්වීමේ ඇමැතිතුමාට කියල. ඉතින් අපේ ඇමැති වෙන්නෙ ජනාධිපති රන්ල් වික්‍රමසිංහ මැතිතුමා. එත් අපට යුතුකමක් තියනවා රාජ්‍ය ඇමැතිවරු විදියට පිළිතුරු දෙන්න. ඒකයි මම නැගිට කිව්වෙ ඒක අයිති මට නෙවෙයි ඒ ප්‍රශ්නය අයිති වෙන ඇමැති කෙනෙක්ට කියල. ඒක තමයි ඔය සමාජය පුරා ඔය යන කතාව. ඒ වගේම විපක්ෂ නායකතුමා මගෙන් ඇහුව ප්‍රශ්න හයම ඊට කලින් දවසේ වෙනත් තැනකදී මට යොමු වුණා.

විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළ ප්‍රශ්න කලින් දවසකදී යොමු වුණා කිව්වෙ මොකක්ද ?

ඔය ප්‍රශ්න හය එන්න කලින් මට ආරාධනාවක් ආවා හිටපු ජනාධිපති මහින්ද මහත්තයා එක්ක රැස්වීමක් තියෙනවා එන්න කියල. මහින්ද මහත්තයා කියන්නෙ මම අදටත් ගරු කරන කෙනෙක්. ඒ නිසා මම එතනට ගියා. ඒ ගිය අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහත්තයා මට කාන්තාවෝ දෙන්නෙක් මුණගැස්සුවා. රැස්වීම කියල තියෙන්නෙ ඒකට. ඒ කාන්තාවෝ දෙන්න මට ප්‍රශ්න වැළක් යොමු කළා. මම අමාත්‍යාංශයට ඇවිත් ටික දවසයි. ඒ නිසා මම මේ ප්‍රශ්න සම්බන්ධව ක්‍රිියාකරන්න අදාළ නිලධාරීන්ට භාර දීලා එතනින් ආවා. මේකෙ ලස්සනම වැඩේ විපක්ෂ නායකවරයා මට පාර්ලිමේන්තුවේදී යොමු කළේත් ඒ ප්‍රශ්න හයම තමා. මම දන්නෙ ඒ ප්‍රශ්නම එතුමාට ආවේ කොහොමද කියල. හැබැයි ඉතින් අපිටත් තේරෙනවා මේවයේ ලිකින්ස් තියෙනවා කියල. අපිත් බබ්බු නෙවෙයිනෙ. එතුමා නම් කිව්වේ ඩොක්ටර් කෙනෙක් ඒ ප්‍රශ්නවලට අදාළ තොරතුරු දුන්නා කියල. නමුත් මටත් අන්තිමට කියන්න තියෙන්නෙ රන්ජන් වගේ මුන් ඔක්කොම කරන්නෙ බොරු. මුන් ඔක්කොම යාළුවෝ මල්ලි කියල තමා.

සමාජ සවිබල ගැන්වීම කොටසත් ඔබතුමියගේ විෂයපථයට අයිතිද ?

මෙච්චර කල් නම් එහෙම එකක් තිබුණේ නෑ. මේ කලබලේ නීල් හපුහින්න ලේකම්තුමා ඇවිත් මට දිව්රුම් ප්‍රකාශයක් අත්සන් කරන්න කියනවා මම ඒ අමාත්‍යාංශයෙත් වැඩ කරනවා කියල. මම ඊයේ තමයි ඒක දන්නෙ. බැලින්නම් මෙච්චර කල් මේ කොටස හංගගෙන ඉඳල. ඒ ගැන කතා කරන්න මම ජනාධිපතිතුමාව හමුවෙනවා.

ඉදිරියේදී දේශපාලන කටයුතු කරගෙන යන්න ඉන්නෙ වර්තමාන ජනාධිපතිතුමා එක්කද ?

මම ඒවා ගැන තීරණ අරගෙන නෑ. මම දිනුවේ පොහොට්ටුවෙන්. මම පොහොට්ටුවේ සමාජිකාවක්. පුළුවන් තරම් මට බැට දෙද්දි මට කරදර කරද්දි මේකෙම එල්ලිලා ඉන්නෙ මනුස්සකමට. එහෙම නැත්නම් මටත් තිබුණා මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ කාලෙදි ඇමැති කමක් අරන් ආයෙත් ඇවිත් වැඳල හරි මොකක් හරි ලබාගන්න. එහෙම කරන කෙනෙක් නෙවෙයි මම. බෙන්තර ඇල්පිටිය ආසනේට මම විශාල ධනයක් වියදම් කරල තියෙනවා. අපි ගාමන්ට් හැදුවේ ආණ්ඩුවෙන් සල්ලි අරන් නෙවෙයි. මහින්ද මහත්තයා 1987 දී ජනප්‍රිය වෙන්න කලින් මම කන්කසන්තුරේ ඉඳල දෙවුන්දර තුඩුවට වෙනකන් ජනප්‍රිය වුණේ සිනමාවෙන්. එහෙම නැතිව පොහොට්ටු පුප්පලා අමුතුවෙන් ජනප්‍රිය වෙන්න මට අවශ්‍යතාවක් නෑ.

සාකච්ජා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment