මෙන්න පාස්කු ප්‍රහාරයේ සැඟවුණු අමුත්තා සොනික් – සොනික්

3925

උපයාගත් ආකාරය සිතා ගැනීමටවත් නොහැකි රුපියල් ලක්‍ෂ එක්දහස් පන්සියයක පමණ වත්කමක් හිමි බවට අනාවරණය වී තිබෙන පට්ට ගේම්කාරයකු වූ අසාද් මව්ලානා ප්‍රධාන චරිතය රඟපෑ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාඩගම පිළිබඳ කතා බහ තවමත් අවසන්ව නැත. තැනක ඒ පිළිබඳ වාද විවාදය. තවත් තැනක මාධ්‍ය සාකච්ඡාය.

● රට වනසන කුහක කතා

මෙන්න පාස්කු ප්‍රහාරයේ සැඟවුණු අමුත්තා සොනික් - සොනික්

එක්තරා විද්‍යුත් නාලිකාවක් මගින් පැවැත්වූ එවැනි සංවාදයකට ඉකුත් සතියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ඉන්දතිස්සය. එම විවාදයේදී යාපනයේ සිවිල් ක්‍රියාකාරිකයකු වූ අරූන් සිද්ධාර්තන් ඔහුව ඔළුවෙන් හිටවද්දී හෙතෙම දිගින් දිගටම කීවේ චැනල් ෆෝ කතාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ට සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් විමර්ශනයක් සිදු කළ යුතු යැයි කියාය.

එකී විමර්ශනයට පෙර ශිවනේසතුරෙයි පිල්ලෙයාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සහ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ධුරයෙන් ඉවත් කළ යුතු යැයිද හේ සඳහන් කළේය. මීට පෙර අවස්ථාවකදී ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතාද මේ කතාවම කීවා අපට මතකය.

සැලසුම්සහගත කුමන්ත්‍රණයකට අනුව චැනල් ෆෝ වැනි සිල්ලර නාලිකාවක් මගින් ප්‍රචාරය කළ වීඩියෝවක් බලා රට කරවන තැන සිටින ජනතා නියෝජිතයන් පන්නා දැමිය යුතු යැයි කීමෙන් ජවිපෙය මේ ප්‍රදර්ශනය කරමින් සිටින්නේ එහි නූතන දේශපාලනයේ නිරුවත නොවේද?

ඉන් නොනැවතුණ ඔවුන් චැනල් ෆෝ බලා කියන බරපතළම කතාව වන්නේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියාද පන්නා දැමිය යුතු යැයි කීමය. චැනල් ෆෝ පඩංගුව බලා එසේ යෝජනා කරනුයේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයේ මරාගෙන මැරෙන ඝාතකයන් දෙදෙනකුගේ පියා වූ මොහොමඩ් ඊබ්‍රාහිම් හෙවත් ඊබ්‍රාහිම් නානාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන එන්නට සූදානම් වූ ජනතා විමුක්ති පෙරමුණය. ඉතින් තවත් මොන කතාද? තිස්වසරක් පුරා රට වැනසූ ත්‍රස්තවාදයට එරෙහි වූ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පන්නා දැමිය යුතු යැයි ජවිපෙය දිගින් දිගටම යෝජනා කිරීමේ යටි අරමුණු කුමක්ද?

● පල්ලියෙ විකිණෙන පාස්කු වින්දිතයන්ගේ දුක

චැනල් ෆෝ වීඩියෝව නිකුත් වීමත් සමඟ හැරෙන තැපෑලෙන් පළමු මාධ්‍ය හමුව පවත්වනු ලැබුවේ අති උතුම් කාදිනල් හිමියන්ය. එහිදී උන්වහන්සේ කී දේවල් බොහෝ වූහ. අවසානයට සඳහන් කරනු ලැබුවේ පාස්කු විමර්ශනය සිදු කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යළි කැඳවා ජාත්‍යන්තර අධීක්‍ෂණයක් සහිතව නැවත විමර්ශනයක් සිදු කළ යුතු බවය.

කාදිනල් හිමියන්ගේ මාධ්‍ය හමුවෙන් දෙදිනකට පසු සිරිල් ගාමිණී පියතුමන්ද ඒ කතාව එසේම පැවසීය. අද ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලන තැනට පැමිණ ඇති පල්ලියේ හඬ පාස්කු ප්‍රහාරයෙන් පසු වරින් වර හිටි හැටියේ වෙනස් කෙරෙමින් විවිධ කරුණු ඔස්සේ ඉදිරියට පැමිණියේය.

මුලින්ම කාදිනල් හිමියන් ප්‍රධාන කතෝලික පල්ලිය පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා හඬා වැටුනේ පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදී කාන්තාවක් ලෙස ක්‍රියාත්මක වූ සාරා ජස්මින්ව පෙන්නපල්ලා කියාය.

සයින්දමරුදු නිවසේ පිපිරීම සිදුවන මොහොතේ එහි සිටි සාරා ජස්මින්ව අතුරුදන් කරනු ලැබුවේ අද කාදිනල් හිමියන් විසින්ම නැවත ඉල්ලා සිටින නල්ලමලේ විමර්ශකයෝය. බරපතළ පිපිරීමක් සිදු වූ ස්ථානයක මළ සිරුරු සම්බන්ධයෙන් ඩීඑන්ඒ පරීක්‍ෂණ පැවත්විය යුතු ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව සිදු කළ ඩීඑන්ඒ පරීක්‍ෂණ තුළින් ඔවුහු මියගිය සාරා ජස්මින්ව ඉන්දියාවට පැන්නවූහ. එහෙත් ඉකුත් වසරේදී සියලු සිරුරු කොටස් ගෙන විධිමත් අන්දමට සිදු කළ ඩීඑන්ඒ පරීක්‍ෂණයේදී සාරා ජස්මින් මියගිය බවට තහවුරු වීමත් සමඟ කතෝලික පල්ලිය ඒ කතාව හිතාමතා අමතක කළේය.

● වරින් වර කරළියට ආ අමුතු කතා

මේ අන්දමට පාස්කු වින්දිතයන්ට සාධාරණය සොයන්නට වූ කාදිනල් හිමියන් ඇතුළු පිරිස වරින් වර කරලියට ගෙන ආ රසකතා බොහෝය. ඔවුන් එතැනට ඇද වැටුණේ කිසිවකු හෝ කණ්ඩායමක් විසින් සිදුකළ නොමඟ යැවීමක් නිසාද? අප මේ සැරසෙන්නේද ඒ අභිරහස් කුමක්දැයි රටට පෙන්වා දෙන්නටය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරන්නට වූ කතෝලික සභාව සාරා ජස්මින්ගෙන් පසු වරෙක සොනික් සොනික් සෙවීය. තවත් වරෙක කතා කළේ පාස්කු ප්‍රහාරකයකු වූ ජමීල් පිළිබඳවය. එහිදී බුද්ධි අංශවලට ඉතා දැඩි චෝදනා එල්ල කළේය. මේ අතරේ අබුහින්ද් නමැත්තකු පිළිබඳවද කතා කළේය. එසේම මාතලේ පුංචි සහාරන් කෙනකු පිළිබඳව අදටත් පවසන්නේය.

මෙහිදී සොනික් සොනික් යනු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යැයි නොකියා කියමින් යුද හමුදාවට එක්ව තිස් වසරක් පුරා රට වෙනුවෙන් දහසක් කැපකිරීම් කළ ඒ අසහාය බුද්ධි නිලධාරියාව බරපතළ ලෙස අපහසුතාවට ලක් කළේය.

එසේ කුමක් සිදුකළත් කතෝලික පල්ලියට මේ දක්වා සොනික්ව සොයාගත නොහැකි විය. රටක ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සිදු කරනු ලබන බුද්ධි මෙහෙයුම් යනු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඇතැමුන් සිදුකරන හැකර කතා හෝ ආගමික නායකයන් කරන ඉල්ලීම් අනුව හෙළි කළ හැකි සිල්ලර දේ නොවන්නේය. එනිසා සොනික් මෙතෙක් සිටියේ තිරෙන් පිටුපසය. එහෙත් වගකිවයුතු මාධ්‍යයක් ලෙසින් අප දැන් සූදානම් වන්නේ කාදිනල් හිමියන් ඇතුළු කතෝලික සභාව ඉදිරියට ‘සොනික් සොනික්’ව ගෙන එන්නටය. එසේ කරනුයේ කුමන්ත්‍රණකරුවන්ට තවදුරටත් ක්‍රියාත්මක වීමට ඉඩ දීම රටටත් ජාතික ආරක්‍ෂාවටත් හිතකර නොවන නිසාය.

● සහරාන්ගේ ගමනක ආරම්භය

මෙන්න පාස්කු ප්‍රහාරයේ සැඟවුණු අමුත්තා සොනික් - සොනික්
චැනල් 04 ප්‍රධාන නළු අසාද් මවුලවි

කවුරුත් දන්නා පරිදි පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කෙරුණේ ඉකුත් 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදාය. එහෙත් මේ කතාවේ ආරම්භය ඊට වසර 19ක පමණ අතීතයකට ඇදී යන්නකි. මෙරට සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් වෙනත් මානයකට රැගෙන යමින් මොහොමඩ් අලියාර් නමැත්තකු විසින් 1990 දී ඉස්ලාමීය මගපෙන්වීමේ ආයතනය බිහිකිරීම එකී ආරම්භය ලෙස පෙන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ වහබ්වාදය පැතිරීම ඇරඹෙන්නේ එතැන් සිටය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වූ සහරාන් හෂීම් වහබ්වාදයට යොමු වන්නේ කාන්තන්කුඩිය මද්‍රසා පාසලේ හි ශිෂ්‍යයකුව සිටි 2004 වසරේදී පමණය. ඒ දැනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින එදා මද්‍රසා පාසලේදී හමුවූ නවුපර් මව්ලවිගේ ආභාසය අනුව යමිනි.

සිය අන්තවාදී ගමනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් ඉකුත් 2012 වසරේදී සහරාන් හෂීම් ජාතික තව්හිද් ජමාත් නමැති මූලධර්මවාදී මුස්ලිම් සංවිධානය පිහිටුවනු ලැබූ අතර සහාරාන් ඇතුළු පිරිස පාස්කු ප්‍රහාරය දක්වා ගමන් කරන්නේ ඉකුත් 2014 වසරේදී අයිඑස් අයිඑස් නායක අබු බකර් අල් බග්දාදි ගෝලීය ඉස්ලාම් රාජ්‍යයක සිහිනය ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.

ඒ වන විටත් අයිඑස් අයිඑස් සංවිධානයට එක්වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසින් මොහොමඩ් මුෂින් ඉෂ්ක් අහමඩ් සිටියේ සිරියාවට ගොසිනි. පසුව සිරියාවේදී එල්ල වූ ප්‍රහාරයකින් ඔහු මරණයට පත්විය.

අයිඑස් අයිඑස් සංවිධානය ශ්‍රී ලංකාව ගෝලීය ඉස්ලාම් රාජ්‍යයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කරනුයේ ඉකුත් 2016 වසරේදීය. එය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සහරාන් අවසානයේ නතර වන්නේ ‘අන්සාර් කේලාෆත්’ නමින් ටෙලිග්‍රෑම් අන්තර්ජාල යෙදුම ඔස්සේ විශාල මුසල්මානුවන් පිරිසක් එක්වූ සමූහයක් නිර්මාණය කරමිනි. සහරාන් පැමිණි එකී ගමනේදී සඳහන් වන තවත් කරුණු රැසක් පවතින අතර 2019 වසරේදී පාස්කු ප්‍රහාරය එල්ල කරනුයේ එසේ පැමිණි සහරාන්ය.

● කවුද මේ සොනික් සොනික්

එහෙත් ඊට මාස දෙකකට ඉහතදී සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සඳහන් වන මෙතෙක් කිසිවකු නොදැන සිටි ඉතා වැදගත් තොරතුරක් රාජ්‍ය බුද්ධි අංශය වෙත වාර්තා විය. එය වාර්තා කර තිබුණේ බටහිර රාජ්‍යයක ඔත්තු සේවයක් මගිනි. ඉන් කියැවුණේ කුමක්ද?

විශේෂ අනාවරණයක් කරමින් එකී විදේශීය ඔත්තු සේවය මෙරට රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී තිබුණේ කටාර්හි ජීවත් වන රහුමාන් නමැති මුස්ලිම් ජාතිකයකු අයිඑස් අයිඑස් සංවිධානයට එක්ව සිටින අතර ඔහු කටාර්හි සිටිමින් තාක්‍ෂණික වශයෙන් සිරියාවේ අයිඑස් සංවිධානයට වැඩ කරන බවකි.

ඒ අනුව ඔහු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරනු ලෙසද රාජ්‍ය බුද්ධි සේවයට දන්වා තිබූ එකී බටහිර ඔත්තු සේවය එම විමර්ශන පහසු කරනු පිණිස කටාර්හි රහුමාන්ගේ දුරකථන අංකයද මෙරටට යොමුකර තිබිණි.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවය මගින් එම තොරතුර අදාළ අංශවලට යොමු කරමින් කටාර්හි සිටින රහුමාන් පිළිබඳ විමර්ශන ඇරඹීය. මෙකී විමර්ශනයට අනුව සිදුවූයේ කුමක්ද? ලැබුණු නියෝගයක් අනුව වහාම රහුමාන් පිළිබඳ විශේෂ ලිපිගොනුවක් විවෘත කරමින් මුස්ලිම් අන්තවාදියකු ලෙසින් පෙනී සිටි මෙරට එක්තරා බුද්ධි නිලධාරියකු දුරකථනය ඔස්සේ රහුමාන් සමඟ සබඳතා ගොඩනඟා ගත්තේය.

එහිදී අයිඑස් අයිඑස් සංවිධානය පිළිබඳව වැදගත් තොරතුරු රැසක් රහුමාන් හරහා අනාවරණය කර ගැනීමටද හැකිවිය. ඒ වන විට රහුමාන් සිටියේ සහරාන් හෂීම් මුණ ගැසීමේ දැඩි වුවමනාවක් ඇතිවය. ඔහු ඒ බව අන්තවාදියකු ලෙස පෙනී සිටි බුද්ධි නිලධාරියාට දැනුම් දුන්නේය. එහිදී මෙරට බුද්ධි නිලධාරියා රහුමාන් නොමඟ යවමින් කියා සිටියේ තමන්ට සහරාන්ව මුණගැස්සවිය හැකි බවය. ඒ බව ඇසීමෙන් ප්‍රීතියට පත්වූ රහුමාන් කරනු ලැබුවේ කුමක්ද?

● කටාර් රහුමාන් ලංකාවට

සහරාන් හෂීම් ඇතුළු කල්ලිය පාස්කු ප්‍රහාරය එල්ල කිරීමට හරියට දින හයකට පෙර හේ සහරාන් හෂීම් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් කටාර්හි සිට ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුගේ පැමිණීම 2019 වසරේ අප්‍රේල් 15 වැනිදා සිදු විය. එසේ පැමිණි ඔහු අන්තවාදියකු ලෙසින් පෙනී සිටි මෙරට බුද්ධි නිලධාරියා අමතා සහරාන් මුණගස්වන ලෙස ඉල්ලා සිටින්නට විය.

එහෙත් ඔහුට මුණගස්සවන්නට සහරාන් සිටින තැනක් ඒ වන විට මෙරට බුද්ධි නිලධාරීන් දැන සිටියේ නැත. අන්තවාදීන් ඇතුළු රටේ සිදුවන දේ පිළිබඳ විමර්ශන පැවැත්වීමේ ඍජු වගකීම එවකට පැවති රජය ඒ වන විට පවරා තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතය. එය සිදු කර තිබුණේද ආරක්‍ෂක මණ්ඩලයේදී ගත් තීන්දුවක් මත ලිඛිත නියෝගයක් ලෙසින් ලබා දෙමිනි.

ඒ වන විට එතෙක් සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් අන්තවාදය පිළිබඳ උකුසු ඇස යොමාගෙන තියුණු ලෙසින් කටයුතු කරමින් සිටි සියලු බුද්ධි නිලධාරීන් සිටියේ පසෙකට වීය. වගකීමක් පැවරුණහොත් පමණක් ක්‍රියාත්මක වී අනාවරණය කරගන්නා සියලු තොරතුරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම සියලු බුද්ධි නිලධාරීන්ගේ රාජකාරිය විය.

මෙනිසා කටාර්හි සිට පැමිණි රහුමාන් සහරාන් හෂීම්ව මුණගස්වන ලෙසින් දිගින් දිගටම ඉල්ලීම් කරද්දී උපක්‍රමශීලීව ඔහු සමඟ සම්බන්ධ වූ බුද්ධි නිලධාරියා කරනු ලැබුවේ රහුමාන් මඟහැර සිටීමය. කාදිනල් ඇතුළු කතෝලික සභාව මෙතෙක් සොයනු ලැබූ සොනික් සොනික් සිටියේ රහුමාන් සම්බන්ධයෙන් සිදු කෙරුණු මෙකී බුද්ධි මෙහෙයුම තුළය.

සොනික් සොනික් වන්නේ අදාළ විදේශීය ඔත්තු සේවය රහුමාන් පිළිබඳ ලබා දුන් තොරතුර අනුව මෙකී මෙහෙයුම ඇරඹෙද්දී ඒ සම්බන්ධයෙන් අරම්භ කරනු ලැබූ ලිපිගොනුවට තැබූ නාමය විය. එකී ලිපිගොනුව අදටත් අදාළ තැන්වල ඇත. එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිටියෝද මේ කාරණය පැහැදිලිවම දැන සිටියහ. අප මේ සියල්ල අනාවරණය කරනුයේ වගකීම් සහගතව බවද මෙහිදී සඳහන් කළ යුතුය.

එහෙත් කාදිනල් හිමියන් ජාත්‍යන්තර අධීක්‍ෂණය යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන නව විමර්ශනයක් සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විමර්ශකයන් කැඳවන්නයි කියා සිටියදී ඒ කිසිවකුත් සොනික් සොනික් යනු අප්‍රාණික ලිපි ගොනුවක් බව කාදිනල් හිමියන්ට පහදා නොදීම පුදුම සහගතය.

● කාදිනල් හොයන පුංචි සහරාන් මෙන්න

මෙන්න පාස්කු ප්‍රහාරයේ සැඟවුණු අමුත්තා සොනික් - සොනික්

මේ අන්දමට රහුමාන් සමඟ සම්බන්ධ වූ බුද්ධි නිලධාරියා ඔහුව මඟහරිමින් සිටියදී කිසිවකුත් නොසිතූ පරිදි සහරාන් හෂීම් ඇතුළු ම්ලේච්ඡ ත්‍රස්තවාදී කල්ලිය පාස්කු ප්‍රහාරය එල්ල කළේය. එකී ප්‍රහාරයත් සමඟ රහුමාන්ට සම්බන්ධ වූ බුද්ධි නිලධාරියා ඔහුට ඇමතුමක් ගනිද්දී ඔහු සඳහන් කරනුයේ සහරාන් හෂීම් තවත් ප්‍රහාරයක් සඳහා කණ්ඩායමක් සූදානම් කර තිබෙන බවකි.

එම ප්‍රකාශයත් සමගම මාතලේ පදිංචිව සිටි රහුමාන්ව මාතලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගනු ලබන අතර පසුව ඔහුව අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුව භාරදෙනු ලැබීය. මේ අතරේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අනාවරණය වූ තොරතුරක් මත සිදු කෙරුණු වැටලීමකදී සහරාන්ගේ සොහොයුරු රිල්වාන්, සහරාන්ගේ බිරිඳ හාදියා, දියණිය මෙන්ම සාරා ජස්මින් ඇතුළු පිරිස සයින්දමරුදු නිවස පුපුරවා හරිනු ලැබීය.

එහිදී සහරාන්ගේ බිරිඳ හාදියා සහ දියණිය හැර එහි සිටි සහරාන්ගේ සොහොයුරු රිල්වාන්, සරා ජස්මින් ඇතුළු පුද්ගලයන් දහහත් දෙනකු මරණයට පත්විය. කටාර්හි සිට පැමිණි රහුමාන් අනාවරණය කළ සහරාන් හෂීම් විසින් දෙවැනි ප්‍රහාරයක් සඳහා සූදානම් කර සිටි කණ්ඩායම වූයේ එසේ සයින්දමරුදු නිවස පුපුරවා හැරීමෙන් මියගිය පිරිසය.

මේ සිදුවීම්වලින් පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රහුමාන්ව බී වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සීඅයිඩීය කටයුතු කළේය. එහිදී රහුමාන්ට එල්ල වූ චෝදනාව වූයේ සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් විසින් පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තර් ජාලයට එක්කර තිබූ වීඩියෝව ගෝලීය අයිඑස් අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයේ වෙබ් අඩවියට එක් කිරීම පමණක් විය.

එකී චෝදනාවට රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු රහුමාන් පසුව නිදහස් විය. පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කරනු පිණිස කතෝලික සභාව බුද්ධි අංශ වෙත ඇඟිලි දිගුකරමින් දැඩි ලෙස චෝදනා කරමින් සොයනු ලබන මාතලේ පුංචි සහරාන් යනු මේ කියන කටාර් රහුමාන්ය.

රහුමාන් අධිකරණයට ඉදිරිපත් කරමින් යොමු කළ බී වාර්තාව ගෙන බැලුවේ නම් කාට කාටත් මේ සත්‍ය අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

මෙසේ පුංචි සහරාන් කවරෙක්දැයි පෙන්වා දෙන අතරේ අප දැන් සූදානම් වන්නේ එක එකා කියන කතා අසා හඬනඟනවාට වඩා සහරාන් හෂීම් ඇතුළු මිනීමරු කල්ලිය එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මරණයට පත් අහිංසක කිතුනු භක්තිකයන් 268 දෙනා ඇතුළු සියලු වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නට නම් කළ යුතු දෙය සියලු දෙනාට පෙන්වා දීමටය.

● කාදිනල් හොයන අබුහින්ද් කවුද?

සහරාන් හෂීම් පාස්කු ප්‍රහාරය දක්වා සිය කගයන් සමඟ අදහස් හුවමාරු කරගනු ලැබුවේ ඔහු විසින් නිර්මාණය කළ ටෙලිග්‍රෑම් සමූහය ඔස්සේය. ලොව ඉස්ලාම් අන්තවාදීන් කටයුතු කරන ක්‍රමවේදය වන්නේද විවිධ අන්තර්ජාල යෙදවුම් ඔස්සේ ක්‍රියාත්මක වීමය.

මේ තත්ත්වය තුළ ලොව බොහෝ රාජ්‍යයන්හි බුද්ධි නිලධාරීන් අන්තවාදීන් ලෙස පෙනී සිටිමින් විවිධ අන්වර්ථ නම් යොදාගෙන එකී සමූහන් තුළට රිංගීම අදටත් සිදු වන්නකි. සහරාන් එල්ල කරන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ මෙරටට නිහ්චිත බුද්ධි තොරතුර දුන්නේ ඉන්දියාව විසිනි.

එකී තොරතුර ඔවුන් සොයා ගන්නේ ඉහත කී ආකාරයට සහරාන්ගේ ජාලයට ඇතුළු වූ අබුහින්ද් නමින් පෙනී සිටි බුද්ධි නිලධාරියකුගේ තීක්‍ෂණ ක්‍රියාත්මකවීම නිසාය. පැහැදිලිවම කිවහොත් අබුහින්ද් යනු සහාරාන් හෂීම්ගේ ටෙලිග්‍රෑම් ජාලයට ඇතුළු වූ එකී බුද්ධි නිලධාරියා භාවිත කළ අන්වර්ත නාමය ය. අප්‍රේල් 21 වැනිදා සහාරාන් පාස්කු ප්‍රහාරය එල්ල කරන බව ඉන්දියාව විසින් අපට ටක්කෙටම දැනුම් දුන්නේ එසේය.

මේ අනුව කියන්නට ඇති සරලම කතාව වන්නේ ඉන්දීය ඔත්තු සේවා සමඟ සම්බන්ධ වූයේ නම් කතෝලික සභාවට ඉතා පහසුවෙන් අබුහින්ද් සොයාගත හැකිවනු ඇතැයි යන්නය.

● පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් මහ මොළකරුවෝ

සහරාන් හෂීම් ඇතුළු කල්ලිය පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන අවස්ථාව වන විට මෙරට සිදුවන සියලු අපරාධමය සිදුවීම් ඇතුළු ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු පිළිබඳ සොයා බලා ඍජු විමර්ශන සිදු කිරීමේ වගකීම සහ බලය ආරක්‍ෂක මණ්ඩලය මගින් පවරා දී තිබුණේ අපරාධ දෙපාර්තමේන්තුවටය.

එකී බලය සහ වගකීම එසේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී තිබියදී පාස්කු ප්‍රහාරයට පෙර මාස තිස්පහක කාලයේ ඉස්ලාම් අන්තවාදයට අදාළ බරපතළ සිදුවීම් එකොහළක් විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. එම සිදුවීම් වූයේ මොනවාද?

ඉකුත් 2017 වසරේ මාර්තු 10 වැනිදා සහරාන් හෂීම් කල්ලිය විසින් කාත්තන්කුඩි අලියාර් හන්දියේදී සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් පිරිසකට පහර දීමෙන් එය ආරම්භ වූ අතර දෙවැනි සිදුවීම වාර්තා වූයේ 2017 වසරේ මැයි 17 වැනිදා ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මස්ජිට්ට වෙඩි තැබීමය.

ඉකුත් 2018 වසරේ පෙබරවාරි 06 වැනිදා යහපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරයේ (පීඑම්ජී) සාමාජිකයකුට පහර දීම තෙවැනි සිදුවීම වූ අතර පෙබරවාරි 12 වැනිදා එම කාර්යාලයට පහර දීම සිව්වැන්න විය. කාත්තන්කුඩිය පලනි බාවාට වෙඩි තබා ඝාතනය වීම පස්වැනි සිදුවීම ලෙස වාර්තා වූ අතර හයවැන්න වූයේ සහරාන්ගේ සොයුරු රිල්වාන් අරියම්පති ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය අත්හදා බැලීම විය.

2018 වසරේ නොවැම්බර් 30 වැනිදා මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී බිහිසුණු ලෙසින් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ගෙල කපා ඝාතනය කිරීම හත්වැනි සිදුවීම වූ අතර 2018 වසරේ 23-25 මාවනැල්ල ප්‍රදේශයේදී බුද්ධ ප්‍රතිමා ඇතුළු ආගමික ප්‍රතිමාවලට හානි කිරීම අටවැන්න වූවේය.

2019 වසරේ ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් සමඟ තිදෙනකු සීඅයිඩී අත්අඩංගුවට ගැනීම නවවැනි සිදුවීම ලෙසින් වාර්තා විය. දහවැන්න වූයේ 2019 වසරේ මාර්තු 08 වැනිදා අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවකු වෙඩි තැබීමය. පාස්කු ප්‍රහාරයට පෙර සිදුවූ අවසාන සිදුවීම වූයේ 2019 වසරේ අප්‍රේල් 16 වැනිදා එනම් ප්‍රහාරයට දින පහකට පෙර කාත්තන්කුඩිය තාලංකුඩිහිදී යතුරු පැදියක් පුපුරවා හැරීම විය.

මෙකී සිදුවීම් රට තුළ සිදු වන විට ජාතික ආරක්‍ෂාව පිළිබඳ සියලු වගකීම් ආරක්‍ෂක මණ්ඩලය මගින් පවරා තිබුණේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නම් පාස්කු ප්‍රහාරයට මාස තිස්පහකට පෙර කාලය තුළ සිදුවූ එකී සිදුවීම් පිළිබඳ නිසි විමර්ශනයක් පවත්වා සියල්ලේ සුළමුල අනාවරණය කර ගැනීමට කිසිවකුටත් නොහැකි වූයේ කුමක් නිසාද? ලෝකල් ෂර්ලොක් හෝම්ස්ලා එකල සීඅයිඩීයේ සිටිමින් දේශපාලනඥයන්ට පොල් ගෑම එයට හේතු වූයේද? එසේ නැති නම් ජාතික ආරක්‍ෂාව පසෙක තබා දේශපාලනඥයන්ගේ නිවෙස්වලට වළං සේදූ නිසා එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වූයේද?

ජාත්‍යන්තර විමර්ශනවලට පෙර ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නැයි අද කතෝලික සභාව නිකමටවත් නොකියන්නේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුකරනු පිණිසද?

දෙහිවල බෝම්බකරු ජමීල් තෙවරක් ප්‍රශ්න කර අතහරිමින් සහරාන්ගේ ත්‍රස්තවාදයට රිසිසේ ක්‍රියාත්මක වීමට ඉඩ දුන් පාස්කු ප්‍රහාරයේ නිහඬ ඝාතකයෝ කවුද? ලබන සතියේ…

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment