‘ බදු පිට බදු නවතනු’ විරෝධතා රැලිය අද

140

බදු පිට බදු පටවමින් රටේ ආර්ථිකයත්, ජන ජීවිතයත්, බංකොලොත් භාවයට පත් කිරීමට එරෙහිව සහ ජන අරගලයේ අපේක්ෂාවන් යථාර්ථයක් කරන ලෙස රජයට බල කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන සහ ශිෂ්‍ය සංවිධාන ඇතුළු දහසකට අධික සංවිධාන එක්ව අද (27 දා) සවස 3.00 ට කොළඹ හයිඩ් පිටියේ දී විරෝධතා රැලියක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි.

‘දෙවැනි ජනතා අරගලය’ ලෙස ආරම්භ කරනු ලබන මෙම විරෝධතා රැලිය මගින් ගාලු මුවදොරින් ඇරඹී පළමු ජනතා අරගලය ප්‍රධාන ඉල්ලීම වූ නිවැරදි ‘සිස්ටම් චේන්ජ්’ සටන් පාඨය යථාර්ථයක් කරන ලෙස රජයට බල කිරීම ප්‍රධාන අරමුණ වී ඇතැයි ද වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිත, රවී කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) සඳහන් කළේය.

රාජ්‍ය, පෞද්ගලික හා වතු සියලු සේවකයින්ට ප්‍රමාණවත් දීමනාවක් ලබාදීම, මර්දනය නැවැත්වීම, භාෂණයේ අයිතියට අකුල් හෙළිම නවතාලීම, ත්‍රස්ත පනත හකුළා ගනු, තෙල්, වරාය, විදුලි රාජ්‍ය දේපළ විකිණීම වෙනුවට දියුණු කළමනාකරණයක් තහවුරු කරනු, විකිණෙන්නට ඉඩ හැර ඇති ජනතාව සතු සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයේ අයිතිය තහවුරු කරනු, බිඳ දමා ඇති විශ්වවිද්‍යාල හා උස්ස අධ්‍යාපනයට ප්‍රමාණවත් ප්‍රතිපාදන, ලබාදෙනු, ජරාවාස වී ඇති පාර්ලිමේන්තුව ශුද්ධ කර අනාගතයට ගැළපෙන පරිදි නඟා සිටවනු යන තේමා ඔස්සේ සහ ගුණාත්මක පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා වහා මැතිවරණයකට යන ලෙස ද පවතින රජයට බල කිරීම වෙනුවෙන් මෙම විරෝධතා රැලිය මෙහෙය වන බව, ජාතික වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර, චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment