ඩග්ලස් ඝාතනයට තැත්කළ හිටපු කොටි දෙදෙනාට මාස 22ක සිරදඬුවම් – වසර 15 කට අත්හිටුවයි

110

ලක්‍ෂ දෙකක් වන්දි ගෙවන්නත් නියෝග

ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාට කළුතර බන්ධනාගාරය තුළදී අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කිරීම, අයුතු ජනරාශියක සාමාජිකයන් වී ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරුවන් කරනු ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (26දා) බරපතළ වැඩ සහිත මාස 22 බැගින් වූ සිරදඬුවම් පනවා එම දඬුවම් වසර  15කට අත්හිටුවීමට නියෝග කළේය.
එයට අමතරව රුපියල් හතළිස් දහස බැගින්වූ දඩයක් ගෙවීමටද නියම කළ විනිසුරුවරයා පැමිණිල්ලේ පළමුවන සාක්‍ෂිකාර ඩල්ගස් දේවානන්ද මහතාට රුපියල් ලක්‍ෂය බැගින් වූ වන්දියක් ගෙවනා ලෙසට ද නිර්මලන් රොහාන් හා ශ්‍රී ස්කන්ධරාජා යන එම විත්තිකරුවන්ට නියෝග කළේය.

මාරාන්තික උපවාසයක නිරතව සිටි එල්. ටී. ටී.ඊ. සැකකරුවන් පිරිසක් කළුතර බන්ධනාගාරය තුළ ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසයක් සමථයකට පත්කිරීම සඳහා 1998.06.30 වැනිදා ගොස් සිටියදී යකඩ පොලු ගල් මුගුරු වලින් එල්ල කළ ප්‍රහාර වලට ගොදුරුවූ ඩග්ලස් දේවානන්ද මහතා බරපතළ තුවාල ලබා තිබිණි.

ඒ සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු 16 දෙනකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුවක් කැඳවූ මුල් අවස්ථාවේදී වරද පිළිගත් විත්තිකරුවන් පිරිසක් දඬුවමට ලක්වී තිබිණි. වරද පිළිනොගත් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහි නඩුව විභාගයට ගෙන ඔවුනට එරෙහිව දඬුවම් නියම කොට තිබූ අතර මහාධිකරණය විසින් නඩුව ආරම්භ කිරීමට පෙර ජූරි සභාවක් හමුවේ නඩු විභාගය පැවැත්වීම අවශ්‍ය දැයි තමන්ගෙන් විමසීමක් නොකළ බව පෙන්වා දෙමින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය එම නඩුව මුල සිට නැවත විභාගයට ගන්නා ලෙසට අභියාචනාධිකරණයට නියෝග කොට තිබිණි. ඒ අනුව ඊයේ 26 දා නඩුව කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ භාෂණ පරිවර්තක ඩී. ටී. සදාම් මහතා විසින් දෙමළ භාෂාවෙන් චෝදනා පත්‍රය කියවා දුන් පසු තමන් අදාළ චෝදනා තුනකට වරද පිළිගන්නා බව විත්තිකරුවෝ දැනුම් දුන්හ.

රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. රත්නවේල් මහතා විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

මෙම විත්තිකරුවන් දෙදෙනා වසර 24 ක කාලයක් රක්‍ෂිත බන්ධනාගාර භාරයේ පසුවීම නිසා ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණයේ අභිමතය පරිදි සුදුසු දඬුවමක් ලබාදීම ගැන පැමිණිල්ල විරුද්ධ නොවන බව රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා පැවැසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment