සාපරාධී කතන්දර 4ක් සහ ඒවාට මුල්වූ සමාජ සාධක

876

හතර හැවිරිදි පෙර පාසල් දැරියකගේ ගෙල සිරකර මැරූ ඇගේ බාප්පා තෙමේ ද නිවසේ බාල්කයක එල්ලී මියගොස් ඇත. දැරියගේ මව වෙළෙඳ කලාපයේ සේවය කරන අතර පියා කම්කරුවෙකි. මේ දෙදෙනා වැඩට ගිය පසු කුඩා දැරියට කවා පොවා ඇය පෙර පාසල වෙත රැගෙන යන්නේ ද නැවත ගෙදර ගෙන එන්නේ ද බාප්පා විසිනි. දැනගන්නට ඇති පරිදි මේ කියන බාප්පා රෝගියෙකි. පවුලේ ආරවුලක් මත බාප්පා විසින් දරුවා මරා දමන්නට ඇතැයි සැක කෙරේ. අනතුරුව තමාට ගැලවීමක් නැති බව වැටහුණු සැනින් බාප්පා ද සිය දිවි නසාගන්නට ඇත.

නිට්ටඹුවේ සත්ව ගොවිපළක සේවය කළ පුද්ගලයකුට තවත් පුද්ගලයන් දෙදෙනකු විසින් පහරදී මරා දමා ඇත. එම දෙදෙනා ද ගොවිපළේම සේවය කළ අය වූහ. මියගිය පුද්ගලයා ගොවිපළේ භාණ්ඩ කිහිපයක් සොරාගෙන පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී අනෙක් සේවකයන් දෙදෙනා ඔහු අල්ලා කණුවක ගැටගසා මැරෙන තුරු පහරදී ඇත. දැනගන්නට ඇති පරිදි මියගිය අය සොරකම සිදුකරන්නට තැත් කළ රාත්‍රියේ සිට පසු දින දහවල් වන තුරු කණුවේ බැඳී පහරකෑමට ලක්ව ඇත. සිද්ධියට අදාළව මිනීමරුවන් දෙදෙනා මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ. හඟුරන්කෙත විසූ 23 හැවිරිදි තරුණයෙක් මිටිපහර කා මළේය. ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. එහෙත් හඟුරන්කෙත පොලිසියේ පරීක්‍ෂණ හරිහැටි සිදු නොවූ බව කියමින් 26 වැනිදා රාත්‍රියේදී ගම්වැසියන් විශාල පිරිසක් පොලිසිය වටලා ඇත. මේ පිරිස විසුරුවා හැරීම සඳහා වෙඩි 38ක් අහසට තබන ලදි. පොලිසිය වැටලීම සඳහා රැස්වූ පිරිස ඉතා විශාල බැවින් යම් විදියකින් ඔවුන් පොලිසිය ඇතුළට කඩාවැදුණේ නම් කෙළින්ම දෙපැත්ත මාරුවනවා ඇත. එනම් රාළහාමිලා ගම්වැසියන් බවටත් ගම්වැසියන් රාළහාමිලා බවටත් පත්වීම නියත ය. මෙසේ වූයේ නම් රාළහාමිලාට නැව් ගුටි කෑමට සිදුවේ. එය ප්‍රශ්න දුරදිග ගෙනියන වැඩකි. ඒ නිසා වැඩේ මේ තරමින් කෙළවර වීම පොලිසියේ වාසනාවකි. මිටියෙන් ගසා තරුණයා මැරීම පිළිබඳව සිද්ධියට අදාළ අය අත්අඩංගුවට ගැනීම පොලීසියේ වගකීම වේ.

ඉහත සඳහන් සිදුවීම් තුන වූකලී සාපරාධී පාර්ශ්වයන් තුනක් පිළිබඳ කතාවකි. මේ කතා තුන කියවන විට අපට නැගෙන ප්‍රශ්නය වන්නේ “මේ මොන තිරිසන්නුද” යන්නයි. සිඟිති දැරියගේ ගෙල මිරිකා මැරූ බාප්පා රෝගියකු නම් ඔහුට දරුවා භාරදී යෑම පිළිබඳව දෙමව්පියෝ වරදකරුවෝ වෙත්. මේ දෙදෙනා වැඩට යන්නේ රෝගී මිනීමරුවා ද මියගිය දියණිය ද තමන්ට ජීවත්වනු පිණිස මුදල් හම්බ කරන්නට නම් එතැන් සිට මේ ඝාතනයට අදාළ ප්‍රශ්නය අවුලක් බවට පත්වේ. මේ මරණයේ පුද්ගල වගකීම බාප්පාටය. සමාජ වගකීම ආර්ථිකයටය. නිට්ටඹුව සත්ව ගොවිපළේ සිද්ධියේදී සේවකයන් දෙදෙනකු විසින් තවත් සේවකයකු අල්ලා ගස් බැඳ පහර දීම අන්තිම නීච වැඩකි. ඔවුන් කර ඇත්තේ රටේ නීතිය සියතට ගැනීමයි. මේ මීහරකුන් දෙදෙනා රැයක් එළිවන තුරුත් ආපසු මධ්‍යහ්නය එළඹෙන තුරුත් අදාළ පුද්ගලයාට දිගටම පහර දීමෙන් සිය තිරිසන්භාවය ප්‍රසිද්ධියේ පෙන්වා ඇත. සිද්ධියට අදාළ පුද්ගලයන් මානසික රෝගීන් නොවන්නේ නම් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුය. එය එල්ලුම් ගස ඉක්මවන දඬුවමක් වුවද යහපත්ය. හඟුරන්කෙත සිද්ධියේදී පොලිසිය හරියට වැඩකර නැති බව ගැමියන්ගේ විශ්වාසය වේ. ඔවුන් පොලිසිය වටලන ලද්දේ එබැවිනි. පොලිසියක් වැටලීම ඉතාම අන්තරාදායී වැඩකි. සිද්ධියෙන් පසු ස්වල්ප කලක් යනතුරු නිහඬව සිටින පොලිසිය ඊළඟට ගැමියන්ගෙන් පළිගැනීමට පටන් ගන්නවා ඇත. අප යෝජනා කරන්නේ හඟුරන්කෙත පොලිසියේ සියලු දෙනාගේම වැඩ තහනම් කර ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමය. සාමාන්‍යයෙන් පොලිස් දෙපාර්තමේන්තුව මෙවැනි වේලාවල බහුලව සිදුකරන්නේ සිද්ධියට අදාළ සාපරාධී පොලිස්කාරයාගේ වැඩ තහනම් කිරීමය. එවිට එම නිලධාරියා ස්වකීය සද්දය වසා නගුට කිසියම් තැනක සඟවාගෙන කලබල නොකර සිටී. ඔහු නිල ඇඳුම පිටින් වෙන පොලිසියකට මාරු කළහොත් එතැන් සිට සිදුවන්නේ ඔහු විසින් සිද්ධියට අදාළ සාක්‍ෂිකරුවන් බියපත් කරනු ලැබීමය.

මේ රටේ ජනයා යුද්ධයත් සමගම ඉතා දරුණු ලෙස වෙනස් විය. ඉස්සර මිනිසකු මැරූ විට එකී අපරාධ ස්ථානය මඟහැර යෑමට ගැමියෝ කැමති වෙති. එහෙත් අද සිදුවන්නේ මිනිහෙක් මැරූ විට අධි වේගයෙන් අපරාධ ස්ථානයට යන මිනිසුන් මියගිය අය සම්බන්ධයෙන් වෙන වෙනම මරණ පරීක්‍ෂණ පැවැත්වීමය. මේ අතර අපි තවත් කාරණයක් ගැන අවධානය යොමු කරමු. හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ අනුගාමිකයන් පිරිසක් විසින් නුවරඑළියේ කොත්මලේ ගමක ආණ්ඩුවේ ඉඩම් අක්කර 16ක් එළිපෙහෙළි කර තිබේ. මෙම ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 3000කට වඩා ඉහළින් පිහිටි ජල පෝෂක ප්‍රදේශයකි. ප්‍රසිද්ධ දියඇලි පහක් මෙම ප්‍රදේශයේ සිට ගලා හැලීම ඇරඹෙයි. පසුව කරන ලද පරීක්‍ෂණවලදී හෙළිව ඇත්තේ ඒ ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කණ කොමිෂන් සභාවට අයත් දේපළ බවත් ඒවා කිසිදු තෙවන පාර්ශ්වයකට මුදාහැර නොමැති බවත්ය. අපගේ ප්‍රශ්නය මෙසේය. මේ පුද්ගලයා මන්ත්‍රී ධුරය අහිමිව සිටින කාලයේදී මේ තරම් කෙළිකාරයකු නම් මන්ත්‍රීව සිටි කාලයේදී කොහොම කෙළවිල්ලක් රටට කෙළවන්නට ඇද්ද යන්න අප සොයා බැලිය යුතුය. රටේ හැම තැනම මෙවැනි පුංචි පුංචි ප්‍රශ්න තිබීම එතරම් යහපත් වන්නේ නැත. මන්ද මේ කුඩා ජල බින්දු වැනි ප්‍රශ්න විශාල මහා සාගර බවට පත්වන්නේ කවර වේලාවකදී දැයි අපට හිතාගැනීමට නොහැක. ඒ නිසා සුනාමිය ආපසු අඬ අඬා ඉන්නවාට වඩා පෙර සූදානම් වීම යහපත් ය.

advertistmentadvertistment
advertistmentadvertistment