මට බැසිල් එක්ක පුද්ගලික ප්‍රශ්න නෑ…!

754
  • හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ

නෑ… අපිත් එක්ක හිටගත්ත අය ගැන අපට අවිශ්වාසයක් නෑ

අගමැතිවරයා ගැන අපට ගෞරවයක් තියෙනවා

ආර්ථික අර්බුදය මුල් අවස්ථාවේම හඳුනාගත්තේ නෑ

දැන් රට බංකොලොත් වෙලා ඉවරයි!

ලීක්වාං යූ මළා… මහතීර් මොහොමඩ් ගෙදර ගියා..

වත්මන් රජය බිහි කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වන විට සිටින්නේ ඔවුන් ගොඩනැඟු ආණ්ඩුවට එරෙහිව අවි අමෝරා ගෙනය. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කොට රජයේ අඩුපාඩු විවේචනය කිරීම මත තමන් දැරූ කර්මාන්ත කැබිනට් අමාත්‍ය ධුරයද අහිමි කරගත් ඔහු මේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහක් සම්බන්ධ කරගනිමින් නව අරගලයක් ආරම්භ කර අවසන්ය. පවතින තත්ත්වයන් සහ ඉදිරි කටයුතු පිළිබඳ දැනගැනීම පිණිස ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” හිටපු කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාව සම්මුඛ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. ඉහතින් පෙළ ගැසෙන්නේ ඒ මහතා සමඟ කළ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – කර්මාන්ත ඇමැති ධුරය දරපු ඔබතුමාව දැන් අපට හඳුන්වන්න වෙන්නේ හිටපු කර්මාන්ත ඇමැති කියල. ඔබතුමන්ලා ගොඩනැඟු ආණ්ඩුවක් තවමත් තිබියදී හිටපු ඇමැති කියලා ආමන්ත‍්‍රණය කරන්න සිදු වෙයි කියලා අපි නම් හීනෙකින්වත් හිතුවේ නෑ. මේ වගේ දෙයක් වෙයි කියල හිතුවද?

පිළිතුර – ආණ්ඩුවේ තියෙන වැරැද්ද ගැන රටට කියද්දි මේ වගේ ප‍්‍රතික‍්‍රියාවක් එයි කියලා මම බලාපොරොත්තු වුණා. අභ්‍යන්තර සංවාදයකින් මේව බේරගන්න අපි යම්කිසි උත්සහයක් දැරුවා. නමුත් මාස ගාණකින් පක්ෂ නායක රැස්වීමක්වත් පවත්වන්නෙ නෑ. ඉතින් ඒ නිසා අපිට බැරිවුණා අභ්‍යන්තර සංවාදයකින් අපි හිතන නිවැරැදි කිරීම් කරන්න. අන්තිමට අපට රටට කතා කරන්න සිද්ධවුණා. එහෙම කතා කළේ නැත්නම් රටට විපතක් වෙද්දි ඔහේ බලාගත්ත අත බලාගත්ත පිරිසක් විදිහට තමයි අපි ඉතිහාසගත වෙන්නේ. ඒ ඉරණමට වැටෙන්න අපි ලෑස්ති නෑ. ඒ නිසා තනතුරුවලට වඩා අපේ භාවිතය, අපේ හෘදසාක්ෂිය ගැන කරන ඇගයීමක් අවශ්‍යයි. ඒ අනුව තමයි අපි වෙන දේ එළිපිට රටට කිව්වෙ. ඒ කීමේ ප‍්‍රතිඵලයක් විදිහට ඇමැතිකම අහිමිවුණා. මේවා අපි බලාපොරොත්තු වුණ දේවල්.

ප‍්‍රශ්නය – 2015 මහින්ද රාජපක්ෂ මහත්තයගෙ පරාජයෙන් දින 50ක් ඉක්ම යන්න කලින් ඔබතුමන්ල මූලික වෙලා මහින්ද සුළඟ පටන් ගත්ත. කොහොම හරි ඒ බලවේගය ආණ්ඩු බලයක් ගැනීම දක්වා වර්ධනය කරගන්න ඔබතුමන්ල සමත්වෙනව. ඒත් අද වෙද්දි විමල්, උදය හොද්දට දාන කරපිංච ගාණට වැටිල නේද?

පිළිතුර – ඕන කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. දේශපාලනයෙදි කෘතගුණ සැලකීම් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි මම. එහෙම බලාපොරොත්තු වෙනව නම් අපි තනතුරු ඉල්ලන්න ඕන. ඒ ඉල්ලන ඒවා නොලැබෙන වේගයට අපි අඬන්න ඕන. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ආණ්ඩුව ගේන්න අපි කරපු දේවල් එක්ක අපිට මීට වඩා තනතුරු ලැබිය යුතුව තිබුණ කියල. ඒක අපි හිතන්නේ නෑ. කොහොම වුණත් මට වැදගත් වෙන්නෙ අපි රම්පෙද, කරපිංචද කියන එක නෙමෙයි. හොඳ කෑම එකක නම් රම්පෙ කරපිංචා වුණත් මට කමක් නෑ. අගුණ කෑම එකක් නම් බත් වුණත් වැඩක් නෑ.

ප‍්‍රශ්නය – දැන් කෑම එක අගුණවෙලානෙ. ඇත්තටම මේ කෑම එකට අගුණ දේවල් එකතුවුණෙ කොහොමද?

ප‍්‍රශ්නය – ඇත්තටම මෙතන වෙච්ච ලොකුම කොඩිවිනය තමයි බැසිල් රාජපක්ෂ. මේ කියන පුද්ගලය 2015 දි ජනවාරි 08 වැනිදා පරාජයෙන් පසු පැදුරටත් නොකිය රටින් පලාගියා. අපි මහින්ද සුළඟ පවත්වල අපි මෙහේ නැවත පණපොවල ගන්නකොට ඒක අතට ගැනීම අරමුණුකොටගෙනම රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙක්ගෙ ඉල්ලීමක් නැති තත්ත්වයක් යටතේ ඔහු නැවත මේ රටට ආව. ඇවිල්ල සිරගතවුණා කියල කියනව සමහරු. ඒත් සිරගත වුණෙ නෑ. අත්අඩංගුවට ගත්තට හිටියෙ කොළඹ මහ රෝහලේ පෞද්ගලික වාට්ටුවක. ඕන වෙලාවක යාළුවො හම්බවෙන්න පුළුවන්. ටීවී බලන්න පුළුවන් පත්තර බලන්න පුළුවන්. එහෙම හිර ගෙවල් තියෙනව නම් අපි ගිහින් ඉන්නව මාස දෙක තුනක්. 2015 පරාජයෙන් පස්සෙ එතුම මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් විපක්ෂ නායකකම ඉල්ලූව. ඒත් එතුම ඒක ප‍්‍රතික්ෂේප කළා. ඊට පස්සෙයි පැදුරටත් නොකියා ගියේ. එදා විපක්ෂ නායකකම දෙන්න මහින්ද මහත්තය එකඟවුණා නම් පැදුරටත් නොකිය යන්නෙ නෑ. ඔහු තුළ බල ව්‍යාපෘතියක් තිබෙනවා. ඒ නිසා ඔහුට එක පැත්තකින් ඕන ඔහුගෙ විශ‍්‍රාම දිවිය සුවසේ ඇමෙරිකාවේ ගතකරන්න. ඒ විශ‍්‍රාම දිවිය සුවසේ ගතකරන්න නම් ඇමෙරිකානු දේශපාලන, ආර්ථික උපාය මාර්ග වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ඒ එකක්. දෙක ඔහු හිතනව මේ අර්බුදය උත්සන්නවෙද්දි ගෝඨාභය රාජපක්ෂ මහත්තය මේක අතහැරල යයි කියල. මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනටත් ඉන්නෙ අක‍්‍රීය මට්ටමට වැටිල. එතකොට ඔහු හිතනව රාජ්‍ය පාලනයේ සුක්කානම ඔහුගෙ අතට ගන්න. අරගෙන ඔහුගෙ විශ‍්‍රාම දිවිය සුවසේ ගතකරන්න. උදාහරණයකට මේ මාසෙ ආයෙත් එනව ඇමෙරිකානු නියෝජිතයන් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට ශ‍්‍රී ලංකා රජය පොළඹවා ගන්න. රටේ පවතින අර්බුදත් එක්ක මිනිස්සුන්ට එම්.සී.සී. ගිවිසුම් ගැන හොයන්න වෙලාවක් නෑ. ඒ ගැන අවධානයක් නෑ. ඒ අර්බුදය වර්ධනය කරල, ඒ ඝෝෂාව මැද්දෙ ඉන්දු-ඇමෙරිකන් උපාය මාර්ගික අවශ්‍යතාවට අනුකූලව ඉටුකරන්න තමයි ඔහුගෙ බලාපොරොත්තුව. ඒකට අපි බාධාවක් නම් අපිව අයින් කරන්න ඕන.

ප‍්‍රශ්නය – බැසිල් රාජපක්ෂ කියන්නෙ ඇමෙරිකන් ඒජන්තවරයෙක්ද?

පිළිතුර – නිසැකව, කුලී ඒජන්තරවයෙක්.

ප‍්‍රශ්නය – හැබැයි බැසිල් රාජපක්ෂ මහත්තයට පාර්ලිමේන්තුවට එන්න පාර කැපුවෙත් ඔබතුමන්ලම නේද?

පිළිතුර – නෑනෙ. 20 වැනි සංශෝධනය ගේන වෙලාවෙ අපි කරුණු හතරකට විරුද්ධ වුණා. ඒ හතරෙන් එකක් තමයි ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නය. ඔබ දන්නව ඒ මේ ආණ්ඩුව පත්වුණ අලූත. ජනාධිපතිවරයා අපි ඉල්ලපු කරුණු හතරෙන් තුනක් සංශෝධනය කරන්න එකඟ වුණා. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප‍්‍රශ්නය අලූත් ව්‍යවස්ථාවක් යටතේ විසඳන්න නම් කියල පොරොන්දු වුණා. ආණ්ඩුවක් බලයට පත්වුණු මුල් අවස්ථාවෙදිම අපි සටනක් කරල, ඒ සටනින් මුල් කරුණු හතරෙන් තුනකට එකඟවෙලා ඉතුරු එක ගැන එහෙම ප‍්‍රතිඥාවක් දුන්නම අපිට බෑ මස් රාත්තලම ඉල්ලල සටනක් කරන්න. බැසිල් රාජපක්ෂට එන්න තියෙන නීතිමය බාධාව ඉවත් වුණාම අපි සදාචාර බාධාවක් ඉදිරිපත් කළා. මම ප‍්‍රසිද්ධියෙ කිව්ව මේ ඇරිච්ච දොර පාවිච්චි කරල ලැජ්ජ බය තියෙන කෙනෙක් ඉන්නව නම් එන්නෙ නෑ කියල. නමුත් සදාචාර බැරියර් එක එච්චර තැකුවෙ නෑ.

ප‍්‍රශ්නය – සදාචාරය කියන එක අපේ දේශපාලනයට ගැලපෙන දෙයක් නෙවෙයි. ඒක ඔබතුමන්ල හොඳටම දන්නව. එහෙම දැනගෙනත් සදාචාර බැරියර් කියන්නෙ විහිළුවක් වගේ නේද? එදා එහෙම කළේ ඔබතුමන්ල බේරෙන්න කියල මම යොජනා කළොත්…

පිළිතුර – එහෙම කෙනෙක්ට හිතන්න පුළුවන්. ඒකට මම බාධාකරන්නෙ නෑ. හැබැයි මම අද හිතනව එදා අර කාරණා හතරෙන් අනෙක් කාරණාවට විරුද්ධ වුණා නම් හොඳයි කියල.

ප‍්‍රශ්නය – ඔබ දේශපාලනයෙ හොඳම තෙම්පරාදු වෙච්ච කෙනෙක්. එහෙව් විමල්ටත් හිතුණෙ නැද්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තය මේ දෙන්නෙ බොරු පොරොන්දුවක් කියල…

පිළිතුර – බොරු පොරොන්දුවක් වුණොත් ඒකෙ අහිතකර ප‍්‍රතිඵල එතුමට අයිතියි. ඇත්ත පොරොන්දුවක් වුණොත් ඒක වටිනාකම එතුමට අයිතියි.

ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය මීට පෙර දේශපාලනඥයෙක් විදිහට අපිට හම්බවෙලා නෑ. මේක තමයි පළමු අවස්ථාව. ඔහු දුන්න ඒ ප‍්‍රතිඥාව අධිකරණ ඇමැතිවරය. පාර්ලිමේන්තුවෙදි ප‍්‍රකාශ කළා. ඒක පාර්ලිමේන්තුවෙ හැන්සාඞ් එකට ගියා.

ප‍්‍රශ්නය – ආණ්ඩුවෙන් එළියට ඇවිත් එකට හිටගත්ත වේදිකවෙ හිටපු නායකයන් ගැන ඔබතුමාට විශ්වාසයිද?

පිළිතුර – ඇයි එහෙම අහන්නෙ…?

මට බැසිල් එක්ක පුද්ගලික ප්‍රශ්න නෑ…!

ප‍්‍රශ්නය – වාසුදේව ඇමැතිතුමාගෙ හැසිරීමත් එක්ක ඒ වගේ දෙයක් ඔබතුමාට හිතෙන්නෙ නැද්ද ඒ වගේ අය ඉන්නෙ දෙපැත්තෙම අඩිය තියාගෙන කියල?

පිළිතුර – නෑ… වාසුදේව නානායක්කාර ඇමැතිතුමා වාහනයත් දැන් භාරදීල, අමාත්‍යාංශයේ කටයුතුවලට සහභාගිවෙන්නෙ නෑ. ඇමැති මණ්ඩලයට යන්නෙ නෑ. එතකොට එතුමා ඒවායින් කියන්නෙ මොකක්ද? අපිව අයින් කරපං කියල. හැබැයි ආණ්ඩුව ඒක කරන්නෙ නැතිව ඉන්නවා.

ප‍්‍රශ්නය – වාසුදේව ඇමැතිතුමාම සෘජුව ඉලක්ක කරනව නෙමෙයි. ඒත් සමහර චරිත ගැන හිතද්දි විමල් එක්ක ගමනක් යන්න ඒ අය ලෑස්තියි කියල හිතන්න පුළුවන්ද?

පිළිතුර – මේ රටත් එක්ක යන ගමනක්. රාජ්‍ය බලය යොදාගෙන මේ ඉන්න පිරිසෙ අයගෙ යම් යම් දුර්වලකම් පාවිච්චි කරල ඔවුන්ව නම්මවා ගන්න උත්සාහ කරයි.

ප‍්‍රශ්නය – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාගෙ වේදිකාවට ගොඩවුණා. එහෙම නැග්ග ඔවුන් අන්න දැන් සර්ව පාක්ෂික සමුළුවකට කැමැත්ත පළකරල. විමල්ව තනිකරන්න ශ‍්‍රීලනිපයට ආණ්ඩුව ඇමක් දැම්ම කියල වගේ හිතෙන්නෙ නැද්ද?

පිළිතුර – ඔහොම විග‍්‍රහයකට එන්න ඉඩක් තියෙනව. මගේ මතය නම් සර්වපාක්ෂික සමුළු කතාව යල් පැන ගිය අදහසක්. ඒක අපි කියන්නෙ අර රෙද්දෙ පහවුණා කියල. ඒ වගේ තත්ත්වයක් තියෙන්නෙ. ඔය කියන සර්ව පාක්ෂික සමුළු කරන්න තිබුණෙ මීට මාස පහ හයකට කලින්. අපි ඕක කිව්වෙ කොවිඞ් එන කාලෙ තියන්න කියල. වසංගතයක් ඇතුළෙ සියලූ දෙනාම එකඟවෙලා ගන්න තීන්දු වැදගත්. වසංගතය කාලයෙදිවත් සර්ව පාක්ෂික එකමුතුවක් තියාගන්න ඕන වුණෙ නැති පිරිසකට ආර්ථික අර්බුදයෙ අන්තිම අඩියට ඇවිල්ල සර්ව පාක්ෂික සමුළු තියන්න කැඳෙව්වට මම හිතන්නෙ නෑ මොළේ තියෙන කිසිම පක්ෂයක් ඒවට ගෑවෙයි කියල.

ප‍්‍රශ්නය – ඔබතුමන්ල ආණ්ඩුවෙන් ගැළවී යෑමට ප‍්‍රතිරෝධයක් විදිහට තමයි අපිට නම් මේක පෙන්නෙ. ශ‍්‍රීලනිපයත් මේ උත්සාහ කරන්නෙ මේ තියෙන ප‍්‍රශ්නවලින් ගොඩ යන්නද?

පිළිතුර – ඕක ඔබ ශ‍්‍රීලනිපය පක්ෂ නායකයෙක්ගෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයක්.

ප‍්‍රශ්නය – හැබැයි ඔබතුමන්ලා එක්ක ඉදිරි ගමනක් යන්නෙ අත්වැල් බැඳන් ඉන්න ප‍්‍රධාන පාර්ශ්වකරුවෙක් තමයි ඒ. ඉතින් ඒකට ඔබතුමන්ටත් යම් පිළිතුරක් දෙන්න පුළුවන්…

පිළිතුර – ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකත්ව මට්ටමින් මොන මොන විසංවාද තිබුණත්, එහි මැද සහ පහළ සාමාජික බලවේගය ඉතා උනන්දුවෙන් අපි ගත්ත ක‍්‍රියාමාර්ගත් එක්ක හිටගෙන ඉන්නෙ.

ප‍්‍රශ්නය – ඔබතුමන්ල මහින්ද රාජපක්ෂ මහත්තය සම්බන්ධයෙන් හිටියෙ මධ්‍යස්ථ පිළවෙතක. නමුත් අගමැතිතුමත් පසුගිය දවස්වල කරපු ප‍්‍රකාශවලින් ඔබතුමන්ල මේ ප‍්‍රශ්නවලට වගඋත්තරකරුවන් බවට පත්කරල තිබුණා.

පිළිතුර – අගමැතිතුමා කෙරෙහි අපට තියෙනව ගෞරවයක්. ඒ මේ රටේ සාමය ඇතිකරන්න දුන්නු දේශපාලන නායකත්වය නිසා. ඒ ගෞරවය අපි මොනම තත්ත්වයක් යටතේවත් නැති කරගන්නෙ නෑ. නමුත් එතුමත් යොදාගන්නව අපිට එරෙහිව ගන්න පියවර සාධාරණීකරණය කරන්න. උදය ගම්මන්පිල ඇමැතිතුමා දවස් කීපයකටයි තෙල් තියෙන්නෙ කියපු වෙලාවෙ තෙල් පෝළිම ආවා නම් සිමෙන්ති පෝළිම, බෙහෙත් හිඟය ආවෙ කවුරු කියපු නිසාද? මේ තියෙන අර්බුදය ගැන අවබෝධයක් ඇතිකරගන්න දෙන්නෙ නෑ. මේ තියෙන්නෙ ඩොලර් හිඟයක්.

ලෙඩෙකුට වුණත් මුල් අවස්ථාවෙ රෝගය හඳුනගත්තොත් බෙහෙත් කරන්න ලේසියි. ආර්ථික අර්බුදයත් එහෙමයි. මුල් අවස්ථාවෙ හඳුනගත්තොත් බෙහෙත් කරන්න ලේසියි. මේ වගේ අර්බුදවලින් ප‍්‍රතිකාර දෙන්න ඕන විශේෂඥ සහය අරගෙන. 1988, 89 කාලයේ ඉතාලියෙ ආර්ථික අර්බුදයක් ආව. ඒ වෙලාවෙ ඉතාලි නායකය කළේ විශේෂඥයො කණ්ඩායමකට අර්බුදයට අදාළ විසඳුම් භාරදුන්න. අවුරුදු දෙකෙන් ඉතාලිය නැවත හොඳ තත්ත්වයට ආව. අපේ වෙලා තියෙන්නෙ ලෙඩා මර ඇඳට වැටුණට පස්සෙ තමයි තීරණ ගන්නෙ. එතකොට අපේක්ෂිත ප‍්‍රතිඵල ලැබෙන්නෙ නෑ.

ප‍්‍රශ්නය – මේ අර්බුදයෙ අපි ඉන්නෙ කොයි තැනද?

පිළිතුර – අපි ඉන්නෙ රට බංකොළොත්වීමේ ඉමට ඇවිත්. අපි වහාම විශේෂඥ සහය අරගෙන කටයුතු කළ යුතුයි. ඒ කියන්නෙ අයිඑම්එෆ් නෙමේ. අපේ රටේ ඉන්නව මේ වගේ අවපාතයකදී කරන්නෙ මොනවද කියල දැනුම තියෙන විශේෂඥයො. ඒ අයගෙන් සැලසුමක් අරගෙන ඒක රටට කියල, ඒක ලෝකයට කියන්න ඕන. දැන් එහෙම සැලසුමක් නෑ. ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ලගෙන එනව.

ප‍්‍රශ්නය – පසුගිය දවස්වල මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ආර්ථික උපදේශන සභාව පත්කළා. මේ සභාව සහ එහි සංයුතිය ගැන මොකද හිතෙන්නේ…

පිළිතුර – පිස්සුනෙ…. විශේෂඥයො සහය ගන්න ඕන එකකට දේශපාලනඥයො දාල හරියනවද? මටවත් අපේ ඇමැතිවරුන්ටවත් බෑ මේක කළමනාකරණය කරන්න.

ප‍්‍රශ්නය – හැබැයි මේ ආර්ථික උපදේශන සභාවෙ ඉන්නෙ මේ ප‍්‍රශ්නයට මුල්වුණ අයම තමයි.

පිළිතුර – ඒකෙන්ම පේනව තාම ප‍්‍රශ්නයේ බරපතළකම තේරෙන්නෙ නෑ කියල.

ප‍්‍රශ්නය – පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න ඔබතුමන්ල දෙන යෝජනා මොනවාද ?

පිළිතුර – අපි පක්ෂ එකොළහ විදිහට වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල තියෙනව. දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය තමයි ඒක. ඒකෙදි අපි කියනව අංක එක විශේෂඥ සහය කියල. අංක දෙක සැලැස්ම. අංක තුන ඒක මහජනතාවට පැහැදිලි කිරීම. ඒ හා සමගාමීව ජාත්‍යන්තර ණය දෙන ආයතනවලට පැහැදිලි කිරීම. ඊට පස්සෙ ඒ ණය ගත්තු ආයතන එක්ක සාකච්ඡා කරගෙන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමකට, ණය කළමනාකරණයකට යන්න ඕන. එතනදි චීනය වගේ රටක් නිකම්ම කැමැති වෙයි. ඒ වගේම අපේ මිත‍්‍රයන් ඉන්නව නම් ජාත්‍යන්තරව ඒ මිත‍්‍රයන්ගෙන් උදව් ලබාගන්න ඕන. ඒ ඔක්කොටමත් වඩා අවශ්‍ය වෙන්නෙ මහජනයා මානසිකව සූදානම් කිරීම. එහෙම සූදානම් කරල අර්බුදය ජයගැනීමට යෝධ බලයක් සූදානම් කිරීම. ඒ එකක්වත් වෙන්නෙ නෑ. වෙන්නෙ අර්බුදය නිදහසේ වැඩෙන්න ඉඩ හැරල, අර්බුදය උත්සන්න වුණාම ඇමෙරිකාවට, ඉන්දියාවට ඕන මැච් ටික ගහගන්න තමයි බැසිල් රාජපක්ෂ බලාපොරොත්තු වෙන්නෙ.

ප‍්‍රශ්නය – මේක වළක්වාගන්න පුළුවන් වෙන්නෙ කොහොමද?

පිළිතුර – එතනදි පළමු දේ තමයි බැසිල් රාජපක්ෂව පලවා හැරීම.

ප‍්‍රශ්නය – කොහොමද ඒක කරන්නෙ. අගමැතිතුමා වුණත් පළමු තැන දෙන්නෙ ලේ ඥාතීත්වයට…

පිළිතුර – හැබැයි දැන් අගමැතිතුමාට වුණත් දැන් හිතන්න වෙනව තමන්ගෙ පුතාගෙ අනාගතය ගැන. බැසිල් රාජපක්ෂ මේ ගහන මැච් එක ඉවර වුණාම අයෙත් නාමල් රාජපක්ෂ නෙමෙයි මොන රාජපක්ෂ කෙනෙක්ටවත් දේශපාලන අනාගතයක් ඉතුරුවෙන්නෙ නෑ. සොරි ඩොට් කොම් කියල තමයි කියන්න වෙන්නෙ.

ප‍්‍රශ්නය – බැසිල් රාජපක්ෂ ඇමෙරිකානු කඳවුරට ආවඩද්දි, විමල්, උදය චීන කඳවුරට ආවඩනවා නොවේද?

පිළිතුර – අපි ඔය මොන කඳවුරක්වත් නියෝජනය කරන්නෙ නෑ. හැබැයි උපාය මාර්ගික වශයෙන් ලෝකයෙ තියෙන ඇමෙරිකාව, රුසියාව, චීනය වගේ බල කඳවුරු තියෙනවනෙ. ඒකෙදි අපි ඉන්නෙ ඇමෙරිකන් හිතවාදී බලකඳවුරට පක්ෂව නෙමෙයි. හැබැයි අපි ඒ කියන්නෙ නෑ අනෙක් පාර්ශ්වයෙන් අපි යැපෙනව කියල. හැබැයි චීනය එන්ජී ඕ හදන්නෙ නෑනෙ. ඇමෙරිකන්කාරය එන්ජී ඕ හදනව. චීනය එහෙම එන්ජී ඕ හදන්නෙ නෑ. ඔවුන්ගෙ තියෙන්නෙ වාණිජ ව්‍යාපෘති. දේශාපලන වශයෙන් ගත්තත් අපි ගනිමු යුක්රේන් යුද්ධය. අපි කියන්නෙ රුසියාව හරි කියල. ඒක ජනප‍්‍රිය නොවන අදහසක්. ඒත් රුසියාව හරි. මොකද නේටෝ හමුදාවට තමන්ගෙ වැට ගාවට එන්න දෙන්න බෑ. ඒක බේරගන්න එක පුටින්ගෙ වගකීමක්. ඒක රුසියාවෙ විතරක් නෙමෙයි, මුළු කලාපයේ යහපත පිණිස.

ප‍්‍රශ්නය – ඔබතුමන්ල ආණ්ඩුවෙන් එළියට එන්නත් බැසිල් රාජපක්ෂ සාධකය බලපෑව කියන එක දැන් ප‍්‍රසිද්ධයිනෙ. විමල් – බැසිල්ගැ ටුම කොහෙන්ද අවසන් වෙන්නෙ…

පිළිතුර – මේක බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයත් එක්ක තියෙන පුද්ගලික ප‍්‍රශ්නයක් නෙමෙයි. දේශපාලන විරෝධයක්. ඔහු කරමින් ඉන්න මහා දුෂ්ට මෙහෙයුම පරාජය කළ යුතු නිසා කරන දෙයක්. එහෙම නැතිව පෞද්ගලික ප‍්‍රශ්නයත් මත ඇතිවෙච්ච දෙයක් නෑ.

ප‍්‍රශ්නය – අපි දකිනවා ඔබව මේ වෙද්දි සමාජ මාධ්‍යවල යම් යම් හාස්‍යයන්ට, උපහාසයන්ට ලක්කරනවා.

පිළිතුර – සමාජ මාධ්‍යවලින් මිනිසුන්ගෙ මතය මනින්න යන්න එපා. සමාජ මාධ්‍යයෙ ජ.වි.පෙ. කට්ටිය ෆේක් එකවුන්ට් හදාගෙන අපට පහර දෙනව. ආණඩුවෙන් එළියට ඇවිත් රටට මගපෙන්වනට ඔවුන් බයයි. ඒකට තමයි එක එක මඩ අපට ගහන්නෙ. ඒක ජනමතය විදිහට ගන්න එපා.

ප‍්‍රශ්නය – ඔබතුමා කියනවා ජවිපෙ පහර දෙනවා කියලා. හැබැයි ආණ්ඩුවත් විපක්ෂයත් දැන් ඔබතුමාට හතර වටින්ම ගහනව නේද?

පිළිතුර – ඒකෙන් පේන්නෙ අපි හරි කියල.

ප‍්‍රශ්නය – එදා ඔබ කියපු අපේ ලී ක්වායු, මහතීර් මොහොමඞ් යන අයට මොකද වුණේ..

පිළිතුර – ලී ක්වායු මළා, මහතීර් මොහොමඞ් ගෙදර ගියා.

ප‍්‍රශ්නය – තවදුරටත් ජනතාව විමල් විශ්වාස කරයිද?

පිළිතුර – මම දේශපාලනයෙදි තීරණ ගන්නෙ මගෙ හෘද සාක්ෂියට එකඟව. මෙතෙන මම ගත්ත තීරණ මහජනයා විශ්වාස කළා. මම හිතනව ඉදිරියෙදිත් මාත් එක්ක මහජනයා ඉඳියි කියල.

ප‍්‍රශ්නය – මේ ආණ්ඩුව විද්‍යාවට වඩා මිථ්‍යාවට වැඩි තැනක් දෙනවද? විශ්වාස කරනවද?

පිළිතුර – ඒක විශ්වාස කරන අයගෙන් තමයි අහන්න ඕන.

ප‍්‍රශ්නය – නෑ… අපට නිතරම ඇහෙන කතාවක් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයෙ යන කතාව. ඥාන මෑණියො හම්බවෙනව කියනව. නූතන ලෝකයට මේ වගේ දේවල් ගැළපෙනවද?

පිළිතුර – මම ඕක දිහා බලන්නෙ ටිකක් වෙනස් විදිහට. ඔයා මට වරදක් කරල තියෙන නිසා මට ඔයත් එක්ක කේන්තියි කියල හිතන්න. මට ඔයාට ගහන්න ඕන කියල හිතනව. මම දේවාලයකට ගිහින් මිරිස් අරඹල හැඳගෑවියන් කියල එනව. දෙවියන්ට ඒ වැඬේ භාරදෙනව. මම හිතනව දෙවියො වැඬේ දෙයි කියල. ඒ නිසා ෂෝක් එකේ ඉන්නව. ඒ අවස්ථාව තිබුණෙ නැත්නම් මම යන්නෙ මාළු නිහාල් හම්බවෙන්න. මම යන්නෙ චොප්පෙව හම්බවෙන්න. මම යන්නෙ පාතාල කල්ලියක් හම්බවෙන්න. මේව මානසික චිකිත්සක ක‍්‍රම අපේ ඉතිහාසයෙන් ආපු. දැන් ඉන්න බක පණ්ඩිතයො ඒවට මිථ්‍යාව කියනව තමයි. හරි ඒවා මිථ්‍යාව වෙන්න පුළුවන්. හැබැයි ඒක තිබුණ කියල ප‍්‍රශ්නයක් නෑනෙ. ඒක තිබුණ කියල ඔයාගෙ ඇෙ`ග් වැදිල කහනවද? ආවේග එන මිනිහ ඒක දේවාලෙට ගිහින් පිටකර ගන්නව. ඉතින් හොඳයිනෙ.

ප‍්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමත් දේවාලවලට යනවද?

පිළිතුර – නෑ…නෑ… මම යන්නෙ නෑ. හැබැයි අපි යන මිනිහගෙ මනස හරියට කියව ගන්න ඕන.

ප‍්‍රශ්නය – ඇත්තටම අපි නිධානයන් උඩ හිටගෙන ඒවායෙන් ප‍්‍රයෝජන ගන්නෙ නැති ජාතියක්. අලූත් දේ හිතන්නෙ නෑ. නූතනය කියන්නෙ ස්මාට් ලෝකයක්. ඒ ස්මාට් හිතීම අපිට නෑ නේද.

පිළිතුර – ඒක මේ රට පාලනය කරපු කිසිම ආණ්ඩුවකට තිබුණෙ නෑ. ඒක හරිම කනගාටුවට කරුණක්. සොබාදහම අපට නොදුන් දෙයක් නෑ. ඇත්ත කතාව මුළු මහත් දේශපාලන සංස්කෘතියෙම යම්කිසි පරිවර්තනයක් වෙන්න ඕන. ඒ වගේම හම්බ කිරීම ඉලක්ක කරගෙන දේශපාලනයට එන මාර්ග වහන්න ඕන. රට ගැන හැඟීමක් ඇති මිනිස්සු හදන්න තමයි අපි දේශපාලනය කරන්න ඕන. නැතුව අපි මේ විදිහට රට යන්න ඉඩ දීල අපි ඇස් පියාගත්තොත් අපිට මැරිලවත් සැනසීමක් නෑ.

ප‍්‍රශ්නය – ඔබතුමාගේ මේ හැම දේකම අවසාන ඉලක්කය ජනාධිපති හෝ අගමැති වීමද?

පිළිතුර – නෑ… මම කිසිම වෙලාවක කිසියම් නිශ්චිත තනතුරක් ඉලක්ක කරගත්ත දේශපාලනයක නියැළෙන්නෙ නෑ. ඉතිහාසය විසින් මට පවරපු තනතුරු මම හරියට කරල තියෙනව. මම හිතන්නෙ මම ජනාධිපති හෝ අගමැති හෝ වීම සමාජය විසින්ම ඇතිවෙන තත්ත්වයක් වෙන්න ඕන. ඒක ස්වභාවිකව ඇතිවෙන්න ඕන තත්ත්වයක්.

ප‍්‍රශ්නය – ඔබතුමා ජන්ම පත‍්‍රය බලන්නෙ නැද්ද?

පිළිතුර – නෑ.. මම ඒ මත්තෙ දුවන කෙනෙක් නෙමෙයි.

ප‍්‍රශ්නය – ඔබේ කේන්දරේ රාජයෝග තියෙනව කියල සඳහන් වෙලා නැද්ද ?

පිළිතුර – ඒ වගේ දේවල් කියල තිබුණත් නැතත් ඒක පෞද්ගලික දෙයක්. ඒක ඔයාට කියන්න ඕනේ නෑ.

ප‍්‍රශ්නය – ආස නැද්ද අයෙත් ඔබගෙ මහගෙදර පැත්තට යන්න. ඒ කියන්නෙ ජවිපෙ පැත්තට..

පිළිතුර – ඒක මගේ ගේ නෙවෙයි. ඒක මගේ තිඹිරිගෙය.

තිඹිරි ගෙදරට මගේ ඓතිහාසික බැඳීමක් තියෙනව. හැබැයි ඒකට යන්න මගේ බලාපොරෝත්තුවක් නෑ. මම හිතන්නෙ නෑ ඒකට ගියයි කියල ඒ අය මාව භාරගනියි කියල. භාරගන්නව වුණත් මම යන්න බලාපොරොත්තුවක් නෑ.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment