මාව විවේචනය කරන්නෙ ගල් අඟුරු මඟඩියට හරස් වෙච්ච නිසයි… – ඕමල්පේ සෝභිත හිමි

116

විදුලිබල ඇමැතිවරයාගේ වෑයම මේ ආණ්ඩුව විනාශ කිරීම…

මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙලා ගොඩක් කල් දැන් මම මන්ත්‍රී හාමුදුරුනමක් නෙමෙයි…

බිලියන තිස්නවයක අය කරගත යුතු විදුලි බිලක් තියෙනවා…

රටේ ජනතාව බිත්තියටම හේත්තුකොට රීරිමාංශ උරා බොන තත්ත්වයට රජය පත්ව සිටී. ඉනිදු උපදින වේදනාව උහුලා ගැනීමට නොහැකි ඇතැම් මවුවරු තම දරුවන්ට වස පොවා ඔවුන් ද වස පානය කොට මියැදෙන තත්ත්වයට අසරණ වී සිටිති. එවැනි පීඩිත මිනිසුන්ව තව, තවත් අසරණ කිරීමට විදුලි ගාස්තු නැවත වරක් විශාල මුදලකින් වැඩි කිරීමට විදුලිබල ඇමැතිවරයා අමානුෂික වෑයමක නිරතව සිටී. ඊට එරෙහිව හඬ නඟන ගිහි, පැවිදි පුද්ගලයන්ව හේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේය. රටේ දැවෙන ප්‍රශ්න කෙරෙහි නිතර කතා කරන භික්‍ෂූන්වහන්සේ නමකට ‘මන්ත්‍රී හාමුදුරුවෝ’ කියමින් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ විවේචනය කරන අයුරු ද අපි දුටුවෙමු. ‘ගින්නක් නොමැතිව දුමක් නොනැගේ…’ දුම යට ගිනි දලු තිබේ ද යන්න විමසා බැලීමට අපි එම මන්ත්‍රී හාමුදුරුවන් බැහැදුටුවෙමු. උන්වහන්සේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝය. විදුලිබල ඇමැතිවරයාගේ විරසකය ගැන උන්වහන්සේ සමඟ අපි සාකච්ඡා කළෙමු. මේ ඒ කතාබහය.

“කාංචන මහත්මයා නිවැරැදිද? මම නිවැරැදිද? මුළු රටම මේ ප්‍රශ්නය දිහා බලාගෙන ඉන්න බව ඇත්ත. කාංචන විජේසේකර වැඩ බැරි අමාත්‍යවරයාගේ නොහැකියාවේ වරද මා පිට පටවන්න හදන බව ද පේනවා. මට තේරෙන විදිහට ඔහු කියන්න උත්සාහ කරන්නෙ විදුලිය කැපීමට ප්‍රධාන හේතුව ගල්අඟුරු ගැටලුව බවත්, එම ගැටලුව නිර්මාණය කළේ ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට ගිය ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ බවය. ඒ විතරක් නෙමෙයි, මම ගල්අඟුරු කොම්පැණිවල නියෝජිතයෙක් වෙන්න ඇති කියලත් එතුමා සැක පහළ කරන බව මාධ්‍යයට හෙළිදරව් කරනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් අල්පමාත්‍රයක තොරතුරු නොදන්න රටේ අසරණ ජනතාව මා ගැනත් වැරැදියට හිතන්න පුළුවන්. මේ වෙනකොට විදුලිබල අර්බුදය මෙරට තියෙන අතිශය සංවේදී ගැටලුවක්…” උන්වහන්සේගේ කතාවට මම බාධා කළෙමි.

මේ වනවිට සවස් කාලයේ සහ රාත්‍රියේ පැය කිහිපයක් විදුලිය විසන්ධි කරන බව සැබෑය. බරපතළම තත්ත්වය රාත්‍රියේ විදුලිය කැපෙනුයේ නිවෙස් තුළ කාර්යබහුලම කාලය තුළය. පාසල් ගුරුවරු විසින් ගෙදර වැඩ ලෙස ඉතිරි කරන අධ්‍යයන කටයුතු සිදු කිරීමට දරුවන් පුරුදු වී සිටිනුයේ විදුලිය කැපෙන එම කාලය තුළය. එමෙන්ම දුරබැහැර රැකියා කටයුතුවල නියැලී සිටින කාන්තාවන් නිවසට පැමිණ රාත්‍රි ආහාර වේල පිළියෙළ කරගැනීමට හුරු වී සිටිනුයේ ද එම කාලය තුළය. පහුවෙනිදා පාසලට,

රැකියා ස්ථානයට යන දරුවන්, දෙමවුපියන්ගේ රෙදිපිළි සූදානම් කරගනුයේ එම කාලය තුළ බව සටහන් තබනුයේ අත්දැකීමෙනි. එහෙයින් එම විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුකාරී තත්ත්වයක් සමාජය තුළ නිර්මාණය වී ඇති බව සැබෑය. අතුරු කතාවට විරාමය තැබූ මම ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ගේ කතාවට නැවත සවන් දී සිටිමි.

“විදුලිබල ඇමැතිවරයා මාව විවේචනය කිරීමට ප්‍රධාන හේතුව වෙච්ච ගල්අඟුරු ගැටලුවේ ඇත්තම කතාව මේකයි. අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට ගියේ ගල්අඟුරුවලට විරුද්ධව නෙමෙයි. ගල්අඟුරු මිලදී ගැනීම මුවාවෙන් කරන්න ගිය මහා පරිමාණ හොරකමකට විරුද්ධවයි. ඒ හොරකමේ ප්‍රමාණය ඉදිරියේදී මම හෙළිදරව් කරනවා. දැනට ගනුදෙනුව ගැන හෙළිදරව් කරන්නම්. ගල්අඟුරු මිලදී ගැනීමට මෙරට විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වෙච්ච, නීත්‍යානුකූලව ගනුදෙනු කෙරෙන කොම්පැණි රාශියක් තිබියදී, කිසිදු ලියාපදිංචියක් නැති හදිසියේ පහළ වෙච්ච කොම්පැණියකින් ගල්අඟුරු මිලදී ගැනීමට විදුලිබල ඇමැතිවරයා ප්‍රමුඛ කණ්ඩායම වසර පහකට ගිවිසුම්ගත වෙලා තිබුණා. ගල්අඟුරු මිලදී ගැනීමට වසර පහකට ගිවිසුම්ගත වෙනවා කියන්නෙ අතිශය බරපතළ තත්ත්වයක්. මේ වෙනකොට ලෝක වෙළෙඳපොළේ ගල්අඟුරු මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව යුක්රේන්, රුසියන් යුද්ධය. දෙරට අතර යුද්ධය නිමා වෙච්ච හැටියේ ගල්අඟුරු මිල විශාල වශයෙන් පහත වැටෙනවා. වසර පහක් වැනි කාලයකට ගිවිසුම්ගත වුණාම ගල්අඟුරු මිල අඩු වුණත් එම කාලය පුරාවට ගිවිසුම්ගත මිල ගෙවීමට සිදු වෙනවා. ඒක මහ අපරාධයක්. රටේ ආර්ථිකයට අති විශාල අලාභයක් සිද්ධ වෙනවා. එම ගනුදෙනුව හරහා රටේ ආර්ථිකයට වෙන්න ගිය බරපතළ අලාභය අපි පෙන්නා දුන්නා. ඒ වගේම එම නීති විරෝධී ගනුදෙනුවට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කළා. ඒ එක්කම විදුලිබල ඇමැතිවරයා අදාළ ටෙන්ඩරය අවලංගු කළා. මට චෝදනා කරන එතුමා නිවැරැදි පුද්ගලයෙක් නම්, ඔහු කරන්න ගියේ රටට සෙතක් වෙන ගනුදෙනුවක් නම් අධිකරණයට පැමිණ කරුණු ඉදිරිපත් කිරීමට පුළුවන්කම තිබුණා. ඒත් ඔහු එසේ නොකර අදාළ ටෙන්ඩරය අවලංගු කළා. ඒ සමඟ නඩුවත් ඉවත් වුණා. රටට වෙන්න ගිය අපරාධය යට ගියා. ඒ නිසා මේ ගනුදෙනුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට මම අදහස් කරගෙන සිටිනවා. ඒ වගේම මේ ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ පරීක්‍ෂණ කමිටුවක් පත් කරන්න කියා ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලා සිටිනවා. එම පරීක්‍ෂණයේදී මම බොරු චෝදනාවක් කර තිබේ නම් ඕනෑම දඬුවමක් විඳීමට සූදානම් බවත් සියලු රටවැසියාට මතක් කර සිටිනවා. විදුලිබල ඇමැතිවරයා වැරැදි නම් වහාම ඔය ඇමැතිකමෙන් එළවා දමන්නයි ඉල්ලා සිටිනවා…”

“ඒ වගේම කාංචන විජේසේකර අමාත්‍යවරයා ‘ඕමල්පේ මන්ත්‍රී හාමුදුරුවෝ’ කියාගෙන උපහාසාත්මක, අපහාසාත්මක ආකාරයට මට යම් හානියක් කරන්න උත්සාහ දරනවා. මන්ත්‍රී පදවියක් දරන එක එතුමාට ලොකු දෙයක් වුණාට මට නම් මහා ලොකු දෙයක් නෙමෙයි. අවුරුදු දෙකක් වැනි කාලයක් මමත් මන්ත්‍රී පදවියක් දැරුවා. එම කාලය තුළදී බලාපොරොත්තු වෙච්ච සමාජ මෙහෙවරෙන් සියයට පනහක් විතර ඉටු කරන්නත් පුළුවන් වුණා. දුම්කොළ සහ මද්‍යසාර පාලන අධිකාරිය පිහිටුවීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මමයි. යුද ජයග්‍රහණයට අවශ්‍ය මූලික පසුබිම සකස් කිරීමට මමත් හවුල් වුණා. රටට යහපතක් වෙන විශාල සේවයක් කර මන්ත්‍රී පදවියෙන් මම ඉල්ලා අස් වුණා. තව අවුරුදු එකහමාරක්, දෙකක් එම පදවියේ හිටියා නම් විශ්‍රාම වැටුපකුත් ගන්න තිබුණා. ඒකත් ප්‍රතික්ෂේප කර, මන්ත්‍රී වැටුපත් ලබානොගෙන පොදු අරමුදලකට බැර කර තමයි මම මන්ත්‍රීකම් කළේ. කාංචන විජේසේකර අමාත්‍යවරයාට කියන්නෙ දැන් මම මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වෙලා. තවදුරටත් මන්ත්‍රී හාමුදුරුනමක් නෙමෙයි. ඊට වඩා ශාසනික, ජාතික, සමාජයීය මහා පරිමාණ කාර්යභාර්යක් උසුලන භික්‍ෂූන්වහන්සේ නමක්. ඒත් මම ශාසනික,

ආගමික වැඩ නොකරන භික්‍ෂූන්වහන්සේ නමක් විදිහට කාංචන ඇමැතිවරයා සමාජගත කරන්න උත්සාහ දරනවා. බෝධිරාජ වෙබ් සයිඩ්, බෝධිරාජ පවුන්ඩේෂන් එකට ගියා නම් මෙරට වගේම පිටරටවල ධර්ම ප්‍රචාරණය සඳහා අපි කරගෙන යන වැඩ සහ සමාජයට කරන ආගමික, සමාජීය වැඩ ගැන එතුමාට දැනුවත් වෙන්න තිබුණා. එහෙම නැති නම් ඇඹිලිපිටියට ඇවිත් අපි කරන ශාසනික, ආගමික වැඩ ගැන හොඳ අවබෝධයක් ලබාගන්නත් පුළුවන්…”

“මේ මෑතක කාම්බෝජයේ ධර්ම ප්‍රචාරණයේ නිරතව සිටින මගේ ශිෂ්‍යයෝ, ගෝලයෝ ඉදිරිපත් වෙලා, කාම්බෝජ සංඝරාජ හාමුදුරුවන්ගේ අනුග්‍රහය යටතේ රුපියල් එක්කෝටි පනස් ලක්‍ෂයක පමණ මුදලක් මා හරහා මෙරටට ලබා දුන්නා. භික්‍ෂූන්වහන්සේලා මාර්ගයෙන් සමාජ සද්කාරයන් ඉටු කිරීමට මගේ මූලිකත්වය යටතේ ඒ මුදල් තෛනිකායටම බෙදා දුන්නා. රාමඤ්ඤ නිකායේ මහා නායක හාමුදුරුවන්වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාවට රුපියල් ලක්‍ෂ හැටක් පරිත්‍යාග කළා. ඒ මුදල්වලින් දිවයින පුරා බේදීයන ආකාරයට විශාල සමාජ සද්කාරයන් ඉටු කරලා තිබුණා. මල්වත්ත, අස්ගිරිය පාර්ශ්වවලට ලබා දුන්න මුදල්වලින් දුප්පත් ජනතාවට වියළි ආහාර මළු බෙදා දීලා තිබුණා. අමරපුර මහා නිකායට රුපියල් ලක්‍ෂ හැටක් පරිත්‍යාග කළා. ඒ, ඒ නිකායන් වෙත ලබා දුන් මුදල් භාවිතා කළ ආකාරය ගැන අපිට වාර්තා ලැබිලා තියෙනවා. ශාසනික, සමාජ සද්කාරයන් කියන්නෙ ඒවාට. ඒ වගේම සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේදී නිවාස අහිමි වූ පවුල් හත්සියයකට අලුත් නිවාස හදලා පරිත්‍යාග කළා. මේ වෙනකොට කිරි එළදෙනුන් දොළොස්දහසකට වැඩි සංඛ්‍යාවක් රටපුරා ජනතාවට බෙදා දීලා තියෙනවා. මරණයට කැප වූ ගවයන් නිදහස් කරගෙන කොවුල්ආරේ ගව අනාථාගාරයේ දැනටත් සතුන් එකසිය විස්සක් ඉන්නවා. ළමා නිවාස පහක් පවත්වාගෙන යනවා. වැඩිහිටි නිවාස දෙකක් සහ ලිංගික අපචාරයන්ට ගොදුරු වී ගැබ්ගත් මවුවරුන් රැකබලා ගන්නා ආයතනයක් පවත්වාගෙන යනවා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පාසල් දෙකක් සහ නිවාසයක් පවත්වාගෙන යනවා. මෙරට විහාරස්ථාන පහළොවක් අපගේ අනුග්‍රාහකත්වය යටතේ පවත්වාගෙන යනවා. ඇමෙරිකාවේ විහාරස්ථාන දෙකක්, සිංගප්පූරුවේ විහාරස්ථාන දෙකක්, මැලේසියාවේ විහාරස්ථානයක් පවත්වාගෙන යනවා. ඇඹිලිපිටිය බෝධිරාජ විහාරය තුළ භික්‍ෂූන්වහන්සේ හැත්තෑතුන්නමක් වැඩ සිටිනවා. කඩුවෙල ජාත්‍යන්තර කම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානයේ භික්‍ෂූන්වහන්සේ තිස්නමක් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මගේ අනුග්‍රහය යටතේ කාම්බෝජ භික්‍ෂූන්වහන්සේ අසූනමක් මෙරට පිරිවෙන් අධ්‍යාපනය ලබනවා. අපි කරන වැඩ ගැන කියන්න ගියොත් කෙළවරක් නෑ. කියන්න වැඩ කරන්නෙත් නෑ. ඔය ටික මතක් කළේ කාංචන විජේසේකර ඇමැතිවරයාගේ දැන ගැනීම පිණිසයි. එතුමාගේ නොදැනුවත්භාවය ගැන මම දුක් වෙන්නෙ නෑ. ඔහු වැඩ බැරි ඇමැතිවරයෙක් විත්තිය මේ වෙනකොටත් රටට ඔප්පු කර අවසානයි. අපට තියෙන දුක අසාධ්‍ය තත්ත්වයේ ලෙඩ ඇඳේ පණ අදින ලංකා මාතාවගෙනුත් ඇතැම් ඇමැතිවරු ලේ උරා බීමට දරන වෑයම දකිනකොට. විදුලි බිල වැඩි කරමින් රටේ ජනතාවගෙන් පළිගන්න ආකාරය පේනකොට…”

විදුලි ගාස්තු වැඩි නොකර බලශක්ති අර්බුදයට විසඳුම් සොයන්න පුළුවන්ද?

“පුළුවන්… අදාළ විෂය ගැන දන්න, රටට ආදරය කරන විශේෂඥ දැනුම ලබානොගැනීම තමයි මේ අර්බුදය මෙතරම් ඔඩු දුවන්න ප්‍රධාන හේතුව. ඒ වගේම බිලියන තිස්නවයක අය කරගත යුතු විදුලි බිලක් තියෙනවා. කාලාන්තරයක් තිස්සේ හිඟව පවතින ඒ විදුලි බිල අය කිරීමට කාංචන උනන්දු වෙන්නෙ නෑ. ඒ මුදල අය කරගත්ත නම් විදුලිබල මණ්ඩලයට විශාල වාසියක් අත් වෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව විසිහයදහසක්. ඉංජිනේරුවොම දහකට වැඩියි. ඒත් විශේෂඥ උපදෙස් ලබාගන්න කොන්ත්‍රාත් පදනම මත ඉංජිනේරුවො බඳවාගන්නවා. අතු කපන්නෙ, විදුලි කණු ප්‍රවාහනය කරන්නෙ, කණු හිටවන්නෙ, රැහැන් අදින්නෙ සේරම කොන්ත්‍රාත් ක්‍රමයට. වැඩ කිරීමට සේවකයො කැමැත්තෙන් සිටියදී කොන්ත්‍රාත් ක්‍රමය පවත්වාගෙන යන්නෙ කාලෙන්, කාලයට පත්වන ඇමැතිවරුන්ට සහ ඉහළ නිලධාරීන්ට කොමිස් ලබාගැනීමට. ඒ වගේම විථි ලාම්පු පිළිබඳ කිසිදු ප්‍රමිතියක් මෙරට නෑ. ප්‍රාදේශීය,

නාගරික මන්ත්‍රීවරුන්ට සිතැඟි පරිදි විථි ලාම්පු සවි කරනවා. ඒ හේතුවෙන් විශාල විදුලි පරිභෝජනයක් අපතේ යනවා. එම විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් නිසි අය කිරීමක් සිදු වෙන්නෙත් නෑ. ඒ වගේම නිවැරැදිව මනුකියවන අයට විදුලිබල මණ්ඩලයෙන් තෑගි දෙනවා. එයින් ඉස්මතු වෙන්නෙ විදුලිබල මණ්ඩලයේ සිටින මනුකියවන්නන් නිවැරැදිව තම රාජකාරිය නොකරන බවයි. වැරැදියට මනුකියවීම තුළ විදුලිබල මණ්ඩලයට සහ රටේ ජනතාවට කෙතරම් අසාධාරණයක් සිද්ධ වෙලා ඇත්ද? මෙවැනි විවිධ අකටයුතුකම්වලින් සිදුවන අලාභයන් පියවා ගැනීමට විටින්, විට විදුලි ගාස්තු වැඩි කරනවා. ඒ වගේම අවුරුද්ද පුරාම හුළං තියෙන, සූර්යාලෝකය වැටෙන, කලට වේලාවට වැසි වැටෙන, මහා රැළි පෙරළෙන මුහුදෙන් වට වෙච්ච මේ රටේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දියුණු කිරීමට තවම සාර්ථක වැඩපිළිවෙළක් නෑ. තෙල් සහ ගල්අඟුරු බිස්නස් එක ඇමැතිවරුන්ට රහ නිසා ඔවුන් ඒ දෙක මත යැපෙනවා. ස්වභාවික බලශක්ති උත්පාදනයේ දී ලොකු කොමිස් කුට්ටි ලැබෙන්නෙ නෑ, හොරකම් කරන්නත් අපහසු නිසා ඇමැතිවරු, ඉහළ නිලධාරීන් ඒවාට කැමැති නෑ…”

ඇඹිලිපිටිය බෝධිරාජ විහාරයේ විදුලි බිල් හරි හැටි ගෙවලා නෑ කියලා විදුලිබල ඇමැතිවරයා චෝදනා කරනවා…?

“මෙතෙක් කාලයක් අපි ගෙවාගෙන ගියේ රුපියල් පනස්දාහක පමණ විදුලි බිලක්. හිටි, හැටියේ රුපියල් ලක්‍ෂ තුනක විදුලි බිලක් අපිට ආවා. එවැනි බිලක් ගෙවන්න කිසිදු ස්ථාවර ආදායමක් අපිට නෑ. අපි විදුලිය පාවිච්චි කරන්නෙ සැප පහසු ජීවිත ගත කිරීමට නෙමෙයි. භික්‍ෂූන්වහන්සේ හැත්තෑනමකගේ අධ්‍යාපන කටයුතුවලට සහ මහජනතාවගේ ආගමික වත්පිළිවෙත් ඉටුකරගැනීම සඳහා. බැතිමතුන් විශාල පිරිසක් දෛනිකව විහාරස්ථානයට පැමිණ රාත්‍රී 10.30, 11 විතර වෙනකම් වතාවත් සිද්ධ කරනවා. දෙදහකට වැඩි සිසු, සිසුවියන් සහභාගි වෙන දහම් පාසලක් පවත්වාගෙන යනවා. ඒ දරුවන්ගේ දෑස් පාදන්න සහ බැතිමතුන් අවිදු අඳුරින් මුදවාගැනීමට තමයි අපි විදුලිය පරිභෝජනය කරන්නෙ. මහජන උපයෝගිතා කොමිෂන් සභාවට කරුණු පැහැදිළි කරලා ගෙවිය යුතු විදුලි ගාස්තුව රුපියල් ලක්‍ෂයට අඩු කරගෙන ගෙවාගෙන යනවා. නොගෙවා පැහැර හැරලා නෑ…”

“අපිට විතරක් විදුලි බිලට සහනයක් අවශ්‍ය නෑ. සමස්ත ලංකාවටම සහනයක් ලැබෙන්න ඕනෑ. මේ වෙනකොට සියයට තුන්සියයකින් විදුලි ගාස්තු වැඩි කරලා තියෙනවා. රටේ ආගමික සිද්ධස්ථානවලට සියයට පන්සිය පනහකින් විදුලි ගාස්තු වැඩි කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ නැවත සියයට හැත්තෑපහකින් විදුලි ගාස්තු වැඩි කිරීමට වෑයම් කිරීම රටේ ජනතාවගෙන් පළිගැනීමක්. අසරණ ජනතාව පීඩාවට පත්කිරීමේ විපාකය කාංචන විජේසේකර ඇමැතිවරයාට පරළොවදී පඩිසම් දෙයි. ආණ්ඩුවට ඉදිරි මැතිවරණයේදී පඩිසම් දෙයි. සරලව කියනවා නම් කාංචන විජේසේකර ඇමැති ධුර දරමින් මේ ආණ්ඩුව විනාශ කරනවා. ඒක තමයි ඇත්ත කතාව…”

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment